ගාසා සහන සේවක ඝාතනයෙන් හෙළිවන ඊශ්‍රායල - අමෙරිකා දෙබිඩි පිළිවෙත

ගාසා සහන සේවක ඝාතනයෙන් හෙළිවන ඊශ්‍රායල - අමෙරිකා දෙබිඩි පිළිවෙත

April 4, 2024   03:01 pm

යුද්ධය නිසා නිර්මාණය වූ ඝාතනයකට මුහුණදෙන ගාසා තීරයේ පලස්තීනුවන්ගේ කුසගිනි නිවීමට මානුෂීය මෙහෙවරක නිරත වූ World Central Kitchen නම් රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයන් 7දෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියයාම තවමත් ලොව කළඹන පුවතක් බවට පත්ව තිබේ. 

රටවල් රැසක් ඒ පිළිබඳව ඊශ්‍රායලයෙන් කරුණු විමසද්දී ඔවුන්ගේ ප්‍රධාන සහායකයා වන අමෙරිකාවද ප්‍රකාශ කළේ කවර තත්ත්වයක් යටතේ වුවත් ඊශ්‍රායල ප්‍රහාරය පිළිගත හැකි කරුණක් නොවන බවයි. 

එමෙන්ම වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් නැත්නම් WCK රාජ්‍ය නොවන සංවිධානයේ නිර්මාතෘ කීර්තිමත් සූපවේදී ගෝසේ අන්ද්‍රෙස් පවසන්නේ ඊශ්‍රායලය තම සංවිධානයේ සහන සේවකයන් නොදැනුවත්ම ඉලක්ක කරගත්තේ යැයි විශ්වාස කළ නොහැකි බවයි. 

ඔවුන් ඊශ්‍රායල හමුදාව සමග පැහැදිලි සන්නිවේදනයක් පවත්වාගෙන ගිය බවත් ඔවුන් සිටින ස්ථාන ඊශ්‍රායල හමුදා හොඳින්ම දන්නා බවත් ගෝසේ අන්ද්‍රෙස් වැඩිදුරටත් සඳහන් කළේය. 

කිලෝමීටර් 1.5ත් 1.8ත් අතර ගමන් මාර්ගයක, මානුෂීය ආධාර සංවිධානයක් බවට පැහැදිලිව වහලයේ දීප්තිමත් ලෙස සලකුණු කළ ලාංඡන සහිත රථ පෙළකින් ඔවුන් ගමන්  ගනිමින් සිටි බව WCK නිර්මාතෘවරයා පැහැදිලි කළේය. 

ඒ අනුව ඒවායේ ගමන් ගන්නේ කවුරුන්ද සහ සිදුකරන්නේ කුමක් ද යන්න හොඳින්ම පැහැදිලි වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 

IDF නැත්නම් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව මෙම මානුෂීය සංවිධානයේ රථපෙළේ ගමන් පථය හොඳින්ම දැන සිටි බවත් ඔහු කියා සිටියේය. 

ඊශ්‍රායල හමුදා මෝටර් රථ තුනකින් සමන්විත සිය රථ පෙළ ගැටුම් නොමැති ඊශ්‍රායල පාලනයේ පවතින ප්‍රදේශයකදී මෙලෙස ඉලක්ක  කරගත් බව WCK නිර්මාතෘවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

පළමු මෝටර් රථය ඊශ්‍රායල හමුදා ප්‍රහාරයට ගොදුරුවෙද්දී, ඉන් පැනගත් සහන සේවකයන්ට දෙවැනි මෝටර් රථයට ගොඩවීමට හැකි වූ බවත්, එය ද ප්‍රහාරයට ලක් වූ විට ඔවුන් තුන්වැනි මෝටර් රථයට ගොඩ වු බවත් ගෝසේ අන්ද්‍රෙස් පැහැදිලි කළේය. 

ඊශ්‍රායල හමුදා තමන් එම ප්‍රදේශයේ ගමන්ගන්නා බව දන්නා බැවින් සහ එය ඊශ්‍රායල හමුදා පාලනයේ ඇති ප්‍රදේශයක් බැවින් සහන සේවකයන් ඒ අවස්ථාවේදීත් ඊශ්‍රායල හමුදාව සමග සන්නිවේදනය කිරීමට උත්සාහ කර තිබුණි. 

ඒ තමන් කවුරුන්ද යන්න පැහැදිලි කිරීමට ය. 

එහෙත් එම අවස්ථාවේ ඔවුන්ගේ තුන්වැනි රථය ද ප්‍රහාරයට ලක්ව ඇත්තේ සහන සේවකයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමිනි. 

ඔස්ට්‍රේලියානු, බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු පුරවැසියන්ද එලෙස මියගිය සහන සේවකයන් අතර වෙයි. 

මේ නිසා සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු රජය සහ සිය පුරවැසියන් ප්‍රහාරයට ලක් වූ අනෙකුත් රටවල් විසින්ද විමර්ශනය කළ යුතු බව සුපවේදී ගෝසේ අන්ද්‍රෙස් සඳහන් කළේය. 

පළමු ප්‍රහාරයක් සමග සහන රථ පෙළ සහ ගාසා තීරයේ WCK කණ්ඩායම අතර සන්නිවේදනය ඇණහිටි බවත්, ඉන්පසුව ඔවුන්ගේ සිරුරු දකිනතුරු වෙනත් කිසි තොරතුරක් නොලැබුණු බවත් ගෝසේ අන්ද්‍රෙස් පැවසීය. 

ස්පාඥ්ඥ - අමෙරිකානුවෙකු වන ගෝසේ අන්ද්‍රෙස් සඳහන් කළේ ඊශ්‍රායල හමුදාව තම සංවිධානයේ සහන රථ පෙළ ක්‍රමානුකූලව එකින් එක ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි. 

WCK ආයතනය සයිප්‍රසයේ සිටි මුහුදු මාර්ගයෙන් ගාසා තීරයට ආහාර ආධාර රැගෙන ඒමට සහ සම්බන්ධිකරණයට එක් වූයේ ස්පාඤ්ඤයේ Open Arms සහන සංවිධානය යි.. 

WCK රථ පෙළ ප්‍රහාරයට ලක් වූයේ, එලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ ටොන් 100ක ආහාර ආධාර ගාසා තීරයේ ගබඩා කොට ආපසු පැමිණෙමින් සිටින විටදීය. 

සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුවපළ කිරීමට ජනපති ජෝ බයිඩන් සුපවේදී ගෝසේ අන්ද්‍රෙස්ට ඇමතුමක්ද ලබා දී තිබුණි.

ඔහු සඳහන් කළේ යුද්ධය අවසන් කිරීමට මීට වඩා යමක් කළ යුතු යැයි තමා ජනපති බයිඩන් ට පැවසු බවයි. 

ඒ සඳහා ඊශ්‍රායල අගමැති නෙතන්යාහුට වැඩි බලපෑමක් කළ යුතු බව ගෝසේ අන්ද්‍රෙස්ගේ අදහස විය. 

අමෙරිකාව ගාසා තීරයේ පලස්තීනුවන්ට මානුෂීය ආධාර ලබාදෙන අතරම සිවිල් වැසියන් ඝාතනය කිරීම සඳහා ඊශ්‍රායලයට ආයුධ සැපයීම වටහාගත නොහැකි කරුණක් බව ගොසේ අන්ද්‍රෙස් ප්‍රකාශ කරයි. 

විඩියෝ සම්බන්ධතාවක් ඔස්සේ ජාත්‍යන්තර මාධ්‍ය ඇමතූ ගෝස් අන්ද්‍රෙස් මෙවැනි ප්‍රකාශකයකුත් කළේය. "මෙය මානුෂීයත්වයට එරෙහි යුද්ධයක් ලෙස පෙනී යනවා. ඔබට එවැනි යුද්ධයක් කිසිදා ජයගත නොහැකියි. මන්ද මානුෂීයත්වය සැමවිටම අවසානයේ රඳා පවතින බැවින්". 

මේ අතර WCK සහන සේවකයන්ට එල්ලවූ මාරාන්තික ප්‍රහාරයෙන් පසු ප්‍රථමවරට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අගමැති නෙතන්යාහු සමග අද දුරකථන සංවාදයක නිරතවීමට නියමිතව තිබේ. 

එහිදී ගාසා තීරයේ ආහාර සැපයුම් ඉහළ නැංවීම මෙන්ම මානුෂීය සංවිධානවල කාර්ය මණ්ඩලවලට වැඩි ආරක්ෂාවක් සැපයීමේ අවශ්‍යතාව ජනපති බයිඩන් පෙන්වා දෙනු ඇති බව අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කළේය. 

කෙසේ නමුත් මෙම සිද්ධිය ඊශ්‍රායලයට ලබාදෙන අමෙරිකානු ආයුධ සැපයුම් අත්හිටුවීමට හේතු නොවන ඇති බව විචාරකයන් පෙන්වා දෙයි. 

වසර ගණනාවකින් සිදුකරන විශාලතම අවි ගනුදෙනුව ලෙස ඊශ්‍රායලයට ඩොලර් බිලියන 18ක් වටිනා F-15 ප්‍රහාරක යානා සැපයීම සඳහා කොංග්‍රස් මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ජනපති ජෝ බයිඩන් දැඩි පරිශ්‍රමයක නිරත වන බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.