ලෝක චොක්ලට් කර්මාන්තය දැඩි අවදානමක

ලෝක චොක්ලට් කර්මාන්තය දැඩි අවදානමක

March 29, 2024   03:29 pm

ගෝලීය චොක්ලට් කර්මාන්තය මේ වනවිට පසුවන්නේ ඉතාමත් අභියෝගාත්මක තත්ත්වයකයි.

ඒ චොක්ලට් සඳහා වන ඉල්ලුම් ඉහළ ගියත් කෙකෝවා සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමට සැපයුම්කරුවන් අපොහොසත් වීම හේතුවෙනි.

ලෝකයේ කොකෝවා බීජ වගාවේ සියයට 90ක් පමණ සිදුවන්නේ හෙක්ටයාර 2කටත් අඩු භූමි ප්‍රමාණ තුළය.

ලොව ප්‍රධානතම කොකෝවා සැපයුම්කරුවා වන්නේ බටහිර අප්‍රිකාව යි.

ලොව සමස්ත කොකෝවා නිෂ්පාදනයෙන් සියයට 75ක් පමණ සපයන්නේ අයිවරි කෝස්ට්, ඝානා, කැමරූන්, සහ නයිජීරියාව  යන රටවල්ය.

බටහිර අප්‍රිකාවේ මිලියන ගණනක් වන ගොවීන් කොකෝවා නිෂ්පාදනය දුගී බවෙන් මිදීමට ඇති එකම මාර්ගය ලෙස සලකයි.

කෙසේ වුව ද වසර 3ක් අඛණ්ඩව ලොව කොකෝවා නිෂ්පාදනය පහළ ගොස් තිබේ.

විශේෂඥයින් මත පළකරන්නේ සිව්වන වසරටත් කොකෝවා නිෂ්පාදනය වාර්තාගත අන්දමින් පහළ යාමේ අවදානමක් උද්ගතව ඇති බවය.

ලෝකය මුහුණ දී සිටින කාලගුණ විපර්යාසවල බලපෑමෙන් උෂ්ණත්වය ඉහළ යාම නිසා කොකෝවා අස්වැන්නට එල්ල වී ඇති බලපෑම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

ඒ අනුව, ඝානාවේ කොකෝවා බීජ නිෂ්පාදනාගාර 8ක් පමණ මේ වනවිට වසා දමා ඇත.

ඒ කොකෝවා බීජ සපයා ගැනීමට ඇති අපහසුතා හේතුවෙනි.

කොකෝවා සැකසුම් කිරීම සීමා කර ඇති අයිවරි කොස්ට් සහ ඝානාව ලොව කොකෝවා නිෂ්පාදනයේ 60%කටම දායක වේ.

ජාත්‍යන්තර කොකෝවා සංවිධානය පුරෝකතනය කරන්නේ, මෙවර කන්නයේ දී ගෝලීය කොකෝවා අවස්වැන්නේ මෙට්‍රික් ටොන් මිලියන 4.45ක් දක්වා සියයට 10.9කින් පහත වැටෙනු ඇති බවය.

මේ සමගම කොකෝවා මිල ද දෙගුණයටත් වැඩි ගුණයකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, බොහෝ චොකලට් නිෂ්පාදකයින්, ගොවීන්ට රජය නියම කර ඇති මිලට වඩා වැඩි මිලක් ගෙවා කොකෝවා ලබා ගැනීමට යොමුව සිටී.

එමෙන්ම චොකලට් නිෂ්පාදකයින්ට සෘජුවම අමු කොකෝවා භාවිතයෙන් චොකලට් නිෂ්පාදනය කළ නොහැකිය.

ඒ සඳහා ඔවුන් කොකෝවා බීජ කොකෝ බටර් බවට පත්කර ගත් යුතු වේ.

නමුත් චොකලට් නිෂ්පාදකයින් පවසන්නේ කොකෝවා සපයා ගැනීමට ඇති බාධා නිෂ්පාදන ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල කර ඇති බවය.

උදාහරණයක් විදිහට අයිවර් කෝස්ට් හි ප්‍රධානතම චෝකලට් සැකසුම්කරුවෙකු වන ට්‍රැන්ස්කාවෝ සමාගම රජය යටතේ ක්‍රියාත්මක වුවත් මේ වනවිට කොකෝවා බීජ මිලදී ගැනීම නවතා තිබේ.

ඒ කොකෝවා බීජ මිල අධික වීම හේතුවෙනි.

සාමාන්‍යයෙන් සිදුවන්නේ දේශීය ගොවීන් දේශීය තැරැව්කරුවන් වෙත කෝකෝවා බීජ අලෙවි කිරීමය.

ඔවුන් ඒවා ගෝලීය වෙළෙඳපොළ වෙත විකිණීමට පියවර ගනී.

එමෙන්ම ගෝලීය වෙළෙඳාම්කරුවන් ඒවා ලොව ප්‍රමුඛතම චොකලට් නිෂ්පාදන ජාල වෙත විකිණීම සිදුකරයි.

නමුත් කොකෝවා අස්වැන්න පහළ යාමත් සමග කොකෝවා වගාකරුවන් සෘජුවම වැඩි මිලට කොකෝවා අලෙවි කිරීම ආරම්භ කර තිබේ.

කොකෝවා අස්වැන්න අවම වීම සහ මිල ඉහළ යාමේ සෘජු බලපෑම් එල්ල වන්නේ චොකලට් නිෂ්පාදන ක්‍රියාවලියට යි.

සාමාන්‍ය තත්ත්වයක් යටතේ වුවත් චොකලට් නිෂ්පාදනයේ දී වැඩිම පිරිවැයක් දැරීමට සිදුවන්නේ කොකෝවා මිලදී ගැනීම වෙනුවෙනි.

මේ වනවිට උද්ගතව ඇති තත්ත්වය හමුවේ චොකලට් නිෂ්පාදනයේ දී කොකෝවා වෙනුවෙන් පමණක් වැඩි මිලක් වැය කිරීමට නිෂ්පාදකයින් සිදුව තිබේ.

පසුගිය වසරේ ආරම්භයේ සිට චොකලට් නිෂ්පාදනයේ ප්‍රධානතම අමුදව්‍ය වන කොකෝවා මිල දෙගුණයකින් ඉහළ ඇතැයි වාර්තාවල සඳහන්ය.

මේ වනවිට ගෝලීය චොකලට් මිල ද ඉහළ ගොස් ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.

ගෙවුණු වසරේ දී ගෝලීය චොකලට් මිල දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.

ඒ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම චොකලට් මිල වාර්තා කරමිනි.