ජේතවනාරාම ස්තූපයේ පැළුම්වලින් විශාල හානියක් සිදුවීමේ අවදානමක්

ජේතවනාරාම ස්තූපයේ පැළුම්වලින් විශාල හානියක් සිදුවීමේ අවදානමක්

March 19, 2024   03:44 pm

ලෝක උරුමයක් වූ අනුරාධපුර පූජා නගරයේ පිහිටි ජේතවනාරාම ස්තූපයේ ගර්භය තුළ පැළුම් විවරයන්ට සිදුකරන පිළියම් ඉතා මන්දගාමී තත්ත්වයක පවතින බව ජේතවනාරාම විහාරවාසී ස්වාමීන් වහන්සේ පැවසීය.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, 2016 වසරේදී හඳුනාගෙන ඇති මෙම පැළුම් සඳහා මෙතෙක් පිළියම් නොයෙදීමෙන් එහි පැමිණෙන වන්දනාකරුවන්ට අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය. 

ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද ලොව විශාලතම නිර්මාණය ලෙස සැලකෙන්නේ, අනුරාධපුර පූජා භූමියේ පිහිටා ඇති ජේතවනාරාම ස්තූපයයි.

මුල් කාලයේ උසින් අඩින් 400ක් වූ මෙම චෛත්‍යයේ සලපතල මළුව අක්කර 8ක් දක්වා විහිදී පවතී. 

බෞද්ධ ඉතිහාසයට අනුව ක්‍රිස්තු වර්ෂ හතරවැනි සියවසේදී මහසෙන් රජතුමා, ගඩොලින් ඉදිකර ඇති මෙම ස්තූපය තුළ බුදුරජාණන් වහන්සේ පැළඳි ඉන පටියේ කොටසක් නිධන් කර තිබෙන බව පැවසෙයි. 

ලෝක උරුමයන් අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන ඇති ජේතවනාරාම ස්තූපයෙහි පැළුම් ඇති බවට පළමුවෙන්ම නිරීක්ෂණය වී ඇත්තේ 2016 වසරේ දීය. 

අදාළ නිලධාරීන් ස්තූපය නිරීක්ෂණය කර වසර 8ක් ගතවී තිබුණත් ඊට නිසි විසඳුමක් තවමත් ලැබී නොමැත. 

ලොව විශිෂ්ඨ නිර්මානයක් වන මෙම ස්තූපය ප්‍රතිසංස්කරණය කර අනාගත පරම්පරාවට උරුම කරදීමත්, වන්දනාකරුවන්ට නිදහසේ සිය ආගමික කටයුතු සිදුකරගැනීමට අවස්ථාව ලබාදීමත් අදාළ නිලධාරීන්ගේ වගකීමක් නොවේ ද ?

ජේතවනාරාම විහාර වාසි  පූජ්‍ය නාරද හිමි,

"දැනට තිබෙන්නේ ලියන පෑනක් ඇතුළට දාන්න පුළුවන් ප්‍රමාණයේ පිපිරීමක්. නමුත් වර්ෂාවත් සමග විශාල වුණොත්... භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කර තිබෙන විදියට විශාල හානියක් සිදුවෙයි කියන මතය මේ වනවිට ප්‍රකාශයට පත්කරලා තිබෙනවා."