ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අත්වූ ඛේදනීය ඉරණම

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අත්වූ ඛේදනීය ඉරණම

March 19, 2024   01:42 pm

මෙරට දෘශ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරමින් වසර 22කට අධික කාලයක් මෙරටට කීර්තියක් ගෙන ආ ක්‍රීඩකයකු අද ජීවන අරගලය ජයගන්නට දැඩි වෙහෙසක් දරමින් සිටී.

මේ චන්දන සුරියආරච්චි මහතා. ඔහු 1998 සිට 2022 දක්වා වසර 24ක් දෘශ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තුන්ඉරියව් දක්ෂතා දක්වමින් රටට කීර්තියක් අත්කර දුන් ක්‍රිඩකයෙකි.

උපතින්ම දෘශ්‍යාබාධිතයකු වූ චන්දන මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ල උනන්විටිය රේවත විද්‍යාලයෙනි.

කෙසේ වෙත්ත මුලික අධ්‍යාපනය ලබන අතරතුර චන්දනගේ දෘශ්‍යාබාධිත තත්ත්වය දිනෙන් දින වැඩිවීම නිසා ඔහුට රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත් වන්නට සිදුවුණි.

අන්ධ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතරතුර, ක්‍රිකට් ක්‍රීඩාවද ප්‍රගුණ කළ චන්දනගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ ඔහුට දෘශ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාව ලැබීමය.

එහිදී ඉතා ඉහළ දක්ෂතා දැක්වූ චන්දන කෙටි කලකදී ජාතික කණ්ඩායමේ නායකත්වය හොබවන්නට සමත් වුණි.

"පාසල් කාලයේ දී මට පුළුවන් වුණා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. 98 දී තමා ලෝක මට්ටමේ ක්‍රිකට් ආරම්භ කළේ නවදිල්ලි නුවර. එතැන් පටන් 2002, 2006, 2010 සහ 2014 යන ලෝක කුසලාන 5ට මට පුළුවන් වුණා දායකත්වය ලබාදීලා, ඉන් අවස්ථා දෙකකදී මම කණ්ඩායම ගෙනවා අවසන් පූර්ව තරගයට."

අවිවාහක චන්දන මේ වනවිට දිවි ගෙවන්නේ හිතවතෙක් සාදා දුන් නිවෙසක රෝගාතුරව සිටින තම සහෝදරයා සමඟයි.

වසර 24ක් ජාතික දෘශ්‍යාබාධිත කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනආ මෙම ක්‍රීඩකයා අද සිය දිවි රැකගැනීම සඳහා ගෙයින් ගෙට ගොස් හඳුන්කූරු අලෙවි කරයි.

"මම යාළුවෙක් එක්ක මේ හඳුන්කූරු බිස්නස් එක කළේ. සමහර දාට දවසේ වියදමවත් පියවා ගන්න බෑ. ඒ නිසා එයාගෙන් හඳුන්කූරු ගෙනල්ලා මම ගමේ ගෙයක් ගෙයක් ගානේ ගිහින් විකුණන්න තීරණය කළේ පසුගිය අගෝස්තු මාසයේ දී. කියන්න ලැජ්ජාවක් නෑ. මම මුලින්ම හඳුන්කූරු ගත්තේ මගේ ජංගම දුරකථනය රු 15,000කට උකස් කරලා. අදටත් ඒක බේරගන්න බැරිවුණා."

දෘශ්‍යාබාධ තත්ත්වයෙන් පසුවුවත් තම මව්රටට කීර්තියක් ගෙන එමින් වසර ගණනාවක් කැපකිරීම් කළ චන්දනට අද අත්ව ඇති ඉරණම ඉතා කනගාටුදායකයි.

තම මව්රට වෙනුවෙන් සිය වගකීම් කොටස ඉටුකළ මෙවන් ක්‍රීඩකයන් රැකබලා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ක්‍රීඩා බලධාරීන්ගේ වගකීමක් නොවේද?