පාතාලය සලිත කළ අලුත්ම නියෝගය

පාතාලය සලිත කළ අලුත්ම නියෝගය

March 19, 2024   01:19 pm

බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් පිහිටුවීම අද සිදුකළේය.

ඒ් යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදිය.

පසුගිය කාලයේදී බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් පාතාල ක්‍රියාකාරකම් රැසක් සිදු වූ අතර මනුෂ්‍ය ඝාතනය රැසක් ද වාර්තා වුණි .

පොලිස් විශේෂ කාර්ය බලකාගේ අණදෙන නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම කණ්ඩායම් ක්‍රියාත්මක වෙයි.

මෙම අලුතින් පිහිටුවන කණ්ඩායම් 20 යොදවා මේවනවිට ක්‍රියාත්මක එක් එක් පාතාල කණ්ඩායම් වල ක්‍රියාකාරකම් මැඩලීම සදහා කටයුතු කරනු ලබයි.

ඒ සෑම කණ්ඩායමක් සඳහාම අපරාධ අංශ ස්ථානාධිපතිවරයෙක්, බුද්ධි නිළධාරීන් 04 ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 02 ක් ඇතුළු නිළධාරීන් 09 කගෙන් සමන්විත අතර ජීප් රථයක් ද මේ සමග යොදවා තිබීම විශේෂත්වයකි.

පසුගිය සති කිහිපය තුළ බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුවු පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් පොලිස් මූලස්ථානය සදහන් කළේය.

මෙම කණ්ඩායම් සඳහා උපදෙස් ලබාදීම අද පෙරවරුවේ, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වුණු අතර එම කණ්ඩායම් නිල වශයෙන් පිටත් කර හැරීමද සිදුකෙරුණි.