සුරතල් සතුන්ගේ ජීවිතයට උණුසුම් කාලගුණයෙන් දැඩි බලපෑම්

සුරතල් සතුන්ගේ ජීවිතයට උණුසුම් කාලගුණයෙන් දැඩි බලපෑම්

March 19, 2024   01:12 pm

අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් නිවෙස් තුළ ඇතිකරන සුරතල් සතුන් සත්ව ආඝාතයට පත්වීමේ අවදානමක් පවතින බව සත්වවේදීන් පෙන්වා දෙයි.

ඊයේ (18) දිනයේත් දිවයිනේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගලින් වාර්තාවූ අතර එය සෙල්සියල් අංශක 38.5කි.

1884 වසරෙන් පසු ගෝලීය වශයෙන් වැඩිම උෂ්ණත්වයක් වාර්තාවූ වසර 10 පසුගිය දශක දෙක ඇතුළත වාර්තාවී තිබේ.

ගෝලීයව සිදුවන පාරිසරික හානිය මෙලෙස උෂ්ණත්වය ඉහළ යාමට සෘජුවම බලපා ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

මෙලෙස පාරිසරික උස්ණත්වය ඉහළ යාමෙන් වීදි සුනඛයින් ,ගෘහාශ්‍රිත සුරතල් සතුන් මෙන්ම වනජීවීන්ද දැඩි බලපෑමට ලක්ව තිබේ.

නිවෙස්තුළ ඇතිකරන සුනඛයින්, බළලුන් වැනි සතුන් අධික උණුසුම හේතුවෙන් තාප ආඝාතය තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතින බව සත්වවේදීන් පෙන්වා දෙයි.

සුරතල් සතුන්ගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා දිනකට දෙතුන්වරක් නැහැවීම මෙන්ම සතුන් වෙනුවෙන් ජල බඳුනක් වෙන්කර තැබීම වඩාත් සුදුසු බව පශු වෛද්‍යවරුන් පවසයි.

එමෙන්ම සුරතල් සතුන් දිවා කාලයේ වාහනතුළ රඳවා යාම දැඩි අවදානම් වන්නේ විනාඩි 20ක් වැනි කෙටි කාලයක් තුළ වාහන තුළ පවතින උෂ්ණත්වය දැඩිලෙස ඉහළයාම හේතුවෙනි.

මේ පිළිබඳ අදහස් දැක්වු පරිසරවේදී, නයනක රන්වැල්ල,

"ගෙවල්වල ඉන්න සතුන් සහ පාරවල්වල ඉන්න සතුනුත් තාප කම්පනවලට ලක්වීමේ අවදානමක් තියෙනවා. අපි ඔවුන්ට ජලය හා ආහාර ලබාදීම වගේම ඔවුන්ට ආවරණයක් සකස් කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට මේ මොහොතේ පත්වෙලා තියෙනවා. එහෙනම නොවුණොත් මෙම සතුන්ගේ හෙට දවස අවදානම් සහගතයි. ඒ වගේම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සර්පයන් නිවාසවලට පැමිණීමේ අවදානමක් අපි දකිනවා. නිවාස අවට තියෙන සර්පයන් ගැවසිය හැකි තැන් අවම කරගැනීමේ මේ තත්ත්වය අවම කරගන්න පුළුවන්."