රේගුව අකුරට වැඩ

රේගුව අකුරට වැඩ

March 19, 2024   10:54 am

රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

රේගු නිලධාරීන්ගේ සංගමයේ, සභාපති, අමිල සංජීව මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ අද උදෑසන 9 සිට පස්වරු 4.45 දක්වා මෙම අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වාගෙන යන බවය.

ඉන් අනතුරුව අතිකාලවලින් ඉවත් වන බව ද පැවසු ඒ මහතා, සාමාන්‍ය දිනකට බහාලුම් 2,000කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට වෙනදාට කටයුතු කරන බව ද පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කර සිටියේ, වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් සිදුවිය නොහැකි දෙයක් බවය.

ජනතාව වෙනුවෙන් මේ වනවිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අයත් බහාලුම් නිදහස් කරන නමුත් ගොඩනැගිලි ද්‍රව්‍ය ඇතුළු සෙසු භාණ්ඩ නිදහස් නොකිරීම හේතුවෙන් දැඩි අර්බුදයක් ඇති විය හැකි බව ද අමිල සංජීව මහතා පැවසිය.

මේ අතර, පසුගිය සිකුරාදා ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට බහාලුම් 4,000කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇතැයි වාර්තා වේ. 

බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ, සභාපති සනත් මංජුල මහතා පවසා සිටියේ, මේ වනවිට බහාලුම් නිෂ්කාශනය සම්පූර්ණයෙන්ම ඇන සිට ඇති බවය.

අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ නිදහස් කරන බවට පැවසුවද එයද රේගු නිලධාරීන් විසින් එය ද මඟ හැර ඇතැයි ඒ මහතා පවසා සිටියේය.

මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් ආනයන කේෂ්ත්‍රයට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ද ඒ මහතා පැවසිය.

මෙම තත්ත්වය පාලනය නොකළහොත් එදිනෙදා භාණ්ඩ මිල ගණන් පවා ඉහළ යාහැකි බව ඒ මහතා කියා සිටියේය.