රට වටේම මත්ද්‍රව්‍ය බෙදූ කරාටේ ධම්මික අත්අඩංගුවට

රට වටේම මත්ද්‍රව්‍ය බෙදූ කරාටේ ධම්මික අත්අඩංගුවට

March 18, 2024   09:23 pm

ප්‍රදේශ ගණනාවකට අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි ජාවාරම් කරුවෙකු වන කරාටේ ධම්මික නැමැත්තා සහ ඔහුගේ ගෝලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 19යි මිලිග්‍රෑම් 200ක් ද පොලීසිය සොයාගෙන ඇත.

එසේම එහිදී ත්‍රිරෝද රථයක්, යතුරුපැදියක්, දුරකථන කිහිපයක් සහ සිම් කාඩ්පත් කිහිපයක් ද සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාම යුද හමුදාවෙන් ඉවත්ව සිටි කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

දඹුල්ල මූලසථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇල්ලේපොළ මහතාට ලද තොරතුරකට අනුව මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකගේ සහාය ඇතිව මෙම වැටලීම සිදුකර තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම සිදුකළ අවස්ථාවේ සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන් යටකර පළායාමට උත්සාහ දරා ඇති අතර එහිදී පොරබැදීමක් ද සිදුව ඇත.

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ප්‍රධාන සැකකරුට කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වසර පහක බරපතළ වැඩ සහිත අත්හිටවූ සිරදඬුවම් නියම කර ඇති බවද අනාවරණය වී ඇත.

එසේම T 56 ගිනි අවියට යොදන පතොරම් ගැබ් 10ක් සහ ජීව උණ්ඩ 44ක් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවද වාර්තා වී තිබේ.

එසේම මයික්‍රෝ වර්ගයේ පිස්තෝල ගිනි අවියක් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ ද සැකකරුට එරෙහිව කෑගල්ල අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින බවද අනාවරණය වී ඇත.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ දකුණේ පාතාල ක්‍රියාකාරකම් අතර සම්බන්ධතාවයක් ඇත්ද යන්න පිළිබඳව සොයාබැලීමට මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සැකකරුවන් දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත අතර දඹුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.