අනියම් පෙම කෙළවර වූ හැටි - දෙදෙනාටම බරපතළයි

අනියම් පෙම කෙළවර වූ හැටි - දෙදෙනාටම බරපතළයි

March 18, 2024   07:18 pm

ඉංගිරිය බෝධිනාගල තානායමක් තුළදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමෙන් අනතුරුව සිය දිවි හානිකර ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගේ සහායෙන් රෝහල්ගත කළ බව ඉංගිරිය පොලීසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ඉංගිරිය, පෝරුව දණ්ඩ, පැල්පිටිගොඩ පදිංචි කාන්තාවක් සහ හා ඇයගේ අනියම් සැමියා බව කියන පිළියන්දල ප්‍රදේශයේ අයෙකි.

ඊයේ(17) පෙරවරු 10ට පමණ පිරිමි පුද්ගලයා තානායමට තනිවම පැමිණ කාමරයක් වෙන්කරවාගෙන ඇති අතර ඊට විනාඩි 20 කට පමණ පසු කාන්තාව ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් තානායම කරා පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පැයකට පමණ පසු කාන්තාව පැමිණි ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් පිරිමි පුද්ගලයා තානායම් භූමියෙන් වේගයෙන් පිටව යන අයුරු කළමනාකරුගේ නෙත ගැටී  මඳ වේලාවකදී දරුණු කැපුම් තුවාල සහිතව එම කාන්තාව තානායමේ පිළිගැනීමේ කවුන්ටරය අසලට පැමිණ පුටුවක වාඩි වී ඇතැයි පොලීසිය කියයි.  

අනතුරුව කළමනාකරු ඒ සම්බන්ධයෙන් පොලීසියට කරන ලද දැනුම්දීමක් අනුව 1990 සුව සැරිය ගිලන් රථයෙන් කාන්තාව හොරණ  මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

එම සිද්ධිය වී පැයක් යාමට මත්තෙන් ඉංගිරිය බවුන්ඩර් පාරේ කැලෑබද ප්‍රදේශයක ඇලක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගලයෙකු වැටී සිටින බවට ඉංගිරිය පොලීසිය ලද තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහායෙන් එම පුද්ගලයාව ද 1990 සුවසැරිය  ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

බරපතළ තුවාල ලද ඔවුන් දෙදෙනාම බිරිඳගෙන් සහ ස්වාමි පුරුෂයාගෙන් වෙන්ව ජීවත් වන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.