ජල මූලාශ්‍ර 18ක් අවදානම් තත්ත්වයේ

ජල මූලාශ්‍ර 18ක් අවදානම් තත්ත්වයේ

March 18, 2024   05:37 pm

පවතින අධික වියලි කාලගුණික තත්ත්වයත් සමග මේ වනවිට ජල මූලාශ්‍ර 18ක් අවදානම් තත්ත්වයේ පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී අනෝජා කළුආරච්චි මහත්මිය මෙම අදහස් පළකළේය.

මේ හේතුවෙන් ඉදිරියේදී අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා ජල පරිභෝජනය සිදු නොකරන ලෙස ද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

ලබුගම සහ කලටුවාව ජලාශවල ජල මට්ටම තවත් මාස දෙකක් සඳහා ප්‍රමාණවත් බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී අනෝජා කළුආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය පැවසුවේ මුර ක්‍රමය යටතේ ජල සම්පාදන ක්‍රම 16ක ජලය සැපයීම සිදුකරන බවය.

බේරුවල, අලුත්ගම, නිවිතිගල, නාරම්මල, ගම්පොළවත්ත, පුස්සැල්ලාව, අංකුඹුර, මීවතුර, පුස්සැල්ල, රත්තොට, හැටන්, කොටගල, ඌරුබොක්ක, බුත්තල, සූරියආර යන ප්‍රදේශ සඳහා මේ අයුරින් මුර ක්‍රමයට ජලය සපයනු ලබයි.

මේ අතර වාද්දුව, ඇහැළියගොඩ සහ රදම්පළ ප්‍රදේශ සඳහා මේ වනවිට අඩු පීඩන තත්ත්වයෙන් ජල සැපයීම සිදුවන බැවින් එම ප්‍රදේශ සඳහා බවුසර මගින් ජලය සැපයීමට පියවර ගෙන ඇති බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.