උකුස්සා කොටුකරගත් කොරියා රැකියා ජාවාරම

උකුස්සා කොටුකරගත් කොරියා රැකියා ජාවාරම

June 13, 2023   08:46 pm

පේරාදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන යන විදේශ රැකියා ආයතනයක් මගින්  දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර රැකියා ලබාදෙන බව පවසා නීති විරෝධී අයුරින් මුදල් වංචා කරන බවට තොරතුරක් අනාවරණ වුණි.

ඒ අනුව අද දෙරණ උකුස්සා සමග එක්ව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය ඒ පිළිබඳව සොයාබැලීමක් කළේය.

තොරතුර තහවුරුකර ගැනීම සඳහා උකුස්සා පළමුව අදාළ විදේශ රැකියා ආයතනයට ගිය අපට දැකගත හැකිවූයේ ඒ වන විටත් කොරියානු රැකියා සිහිනය සැබෑකරගැනීමේ අරමුණෙන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි ආකාරයයි.

ඒ අනුව මෙම කූට ව්‍යාපාරය පිළිබඳව තහවුරු කරගැනීමෙන් පසුව අප ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය දැනුවත් කළේය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් අදාළ ස්ථානය වටලනු ලැබීය.

එහිදී එහි හිමිකරු පැවසුවේ තමන් කිසිදු අවස්ථාවකදී කොරියානු රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබානොගත් බවය.

කෙසේවෙතත් අයදුම් පත්‍ර භාරගැනීමේදී එක් අයෙකුගෙන් රුපියල් 20,000කට ආසන්න මුදලක් එහි හිමිකරු ලබාගත් බව එම ස්ථානයේ සිටි පිරිස් ප්‍රකාශ කළේය

එහිදී කොරියානු රැකියා ලබාදෙන බවට පවසා ලබාගත් විදෙස් ගමන් බලපත්‍ර 275ක් සහා අයදුම්පත්‍ර අඩංගු ලිපි ගොනු 615ක්  විමර්ශන නිලධාරීන් සිය භාරයට ගත්තේය.

අනතුරුව සැකකරු සියභාරයට ගත් නිලධාරීන්, ඔහු අධිකරණය හමුවට පමුණුවනු ලැබීය.

ඉදිරියේදීත් මෙවැනී නීති විරෝධී ක්‍රියාවන් රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.