ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලුවලට විසදුම්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලුවලට විසදුම්

October 17, 2018   05:58 pm

ඊශ්‍රායලයේ නිල සංචාරයක නිරතවූ විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා එරට සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හා සේවා යෝජකයින් හමුවී ඔවුන්ගේ සේවා තත්ත්වයන් පිළිබඳ  සාකච්ඡා කළ අතර ඔවුන්ගේ ඉල්ලීම් හා ගැටලුවලට කඩිනම් පියවර ගැනීමට  කටයුතු කළේය.

කෘෂි ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සේවය කරන ස්ථානවලට ගොස් මෙම හමුවීම් පැවැත්වූ අතර එහිදී මෙරට ශ්‍රමිකයින්ගේ සේවා තත්ත්වය පිළිබද සේවා යෝජකයින්ගෙන් යහපත් ප්‍රතිචාර හිමිවිය.

 ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සේවා තත්ත්වයන් පිළිබද ඉහළ ඇගයීමක් එහිදී ලැබුණ අතර සේවා කටයුතුවල යෙදීමේදී ඉහළ ප්‍රමිතියකින් යුතු සේවයක් ලබාදීම පිළිබද ප්‍රසංශා කළේය.

විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි නිල සංචාරයේ නිරතවූ මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාදෙන සේවය පිළිබද අවධානය යොමු කරමින් වඩාත් ඉහළ සේවාවක් ලබාදීම සදහා ශ්‍රමිකයින්ගේ අදහස් විමසීය.

 එහිදී ශ්‍රමිකයින්ගෙන් ඉදිරිපත්වූ ගැටලු සදහා විසදුම් ලබාදීමට කටයුතු කළ නියෝජ්‍ය ඇමැතිවරයා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ අවධානය යොමු කරවීය.

සාත්තු සේවක වෘත්තියේ යෙදෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ද ඔවුන්ගේ සේවා ස්ථානවලදී හමුවූ නියෝජ්‍ය ඇමැතිවරයා ඔවුන්ගේ සේවා යෝජකයින් සමඟ සාකච්ඡා කරමින් සේවා තත්ත්වයන් පිළිබද විමසුවේය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකියින්ගේ සේවා තත්ත්වයන් පිළිබද ප්‍රසාදය පළ කළ සේවා යෝජකයින් තවදුරටත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා ලබාදීමට එකඟ වි ඇත.

ඊශ්‍රාලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙදී එරට සිටින ශ්‍රී ලාංකිකයින්ගේ හමුවක් පැවැත්විණි.

එහිදී දෙරට අතර සුහදත්වය වර්ධනය කරගැනීම සඳහා ගෙන ඇති පියවර පිළිබද නියෝජ්‍ය ඇමැතිවරයා පැහැදිළි කළේය.

තවදුරටත් දෙරට අතර සුහත්වය වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලාංකික ශ්‍රමිකියන්ට ඊශ්‍රායලයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමට ගෙන ඇති පියවර පිළිබද පැහැදිළි කළේය.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදෙන සේවාවන් පිළිබදවද දැනුවත් කළේය.