ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකුණන්න ඉඩ දෙන්නේ නෑ

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකුණන්න ඉඩ දෙන්නේ නෑ

October 12, 2018   03:29 pm

රටට අවාසි වන සේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය කිසිම විටක ඉන්දීය ඔයිල් සමාගමට පවරා නොදෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 

ඔහු මේ බව අද (12) කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේශපාලන පලිගැනීම්වලට ලක් වූවන්ට සහන සැලසීමේ උත්සවයට එක් වෙමිනි. 

රට පාවාදීම තම ප්‍රතිපත්තිය නොවන බවත් රටට හානිවන කිසිම දෙයක් කිසිම විටක සිදු නොකරන බවත් ඒ මහතා පෙන්වා දෙයි. 

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය රටට වාසි සහගත වන සේ සංවර්ධනය කිරීම තමන්ගේ අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේද පැවසීය. 

“ත්‍රිකුණාමලයේ තෙල්ටැංකි සියල්ලම ගිවිසුමක් ගහලා ඉන්දියානු ඔයිල් සමාගමට ලබා දුන්නේ 2003 වර්ෂයේදී. එතැන් සිට අද වෙනතුරුම ඒ තෙල් ටැංකි සංකීර්ණයේ කිසිම සංවර්ධන කටයුත්තක් වෙලා නැහැ. ඉන්දියානු ඔයිල් සමාගම තෙල් ටැංකි තමන්ගේ පරිහණයට ගෙන ලාභ ලබා ගන්නවා. 2003 වසරේදී ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අපි ආණ්ඩුවක් හැදුවා.

 එදා තෙල් ටැංකි ගිවිසුමේ වැරදි තිබුණා නම් එවකට ජනාධිපතිතුමිය ලෙස සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත් සමඟ එක්ව එම ගිවිසුම වෙනස් කර ගන්න ඔවුන්ට තිබුණා. ඇත්ත නම් අත්සන් කළ ගිවිසුමක් වෙනස් කරන්න අපහසුයි. ඒත් කැබිනට් මණ්ඩලය හරහා එම ගිවිසුම රටට වාසි ලෙස වෙනස් කර ගැනීමට මම කටයුතු කර තිබෙනවා. 

දැනට ඉන්දීය ඔයිල් සමාගම භාවිත කරන තෙල් ටැංකි ගණන 15ක්. ඉතිරි ටැංකි සංවර්ධනය කිරීමට ඉන්දීය ඔයිල් සමාගමත් අපේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් එක් වී පොදු ආයතනයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ වන විට ලැබී තිබෙනවා. එහිදී එලෙස සංවර්ධන කරන ටැංකිවලින් 16ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටම අයිති කර ගැනීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව ඉතිරි ටැංකි 69 ඒකාබද්ධ ව්‍යාපාරයක් යටතේ පරිහරණය කෙරෙනවා.

ඇත්තටම මටත් මේ ටැංකි සංකීර්ණය ගැන නොලබා අහක බලා ගෙන ඉන්න තිබුණා. තව අවුරුදු දෙකයිනේ තියෙන්නේ ඔන්න ඕක ඔහෙ ඉන්දියන් ඔයිල් සමාගමට යන්න දීලා නිකම් බලාගෙන ඉන්න තිබුණා. නමුත් මම එහෙම කළේ නැහැ. මට මොන චෝදනාව ආවත් මම දන්නවා ‍මම මගේ රටට වරදක් කරන කෙනෙක් නෙමෙයි කියලා.

මට අද මොන විවේචන කළත් මම එක මතයක ඉන්නවා. මේ තෙල් ටැංකි සංවර්ධනය කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි 2003 වසරේදී මේ ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීමට ගිවිසුම් අත්සන් කරන විට මේ රටේ දරුණු යුද්ධයක් තිබුණා. 

එවෙලේ ඉන්දියන් ඔයිල් සමාගමට මේ ටැංකි සංකීර්ණය  දුන්නේ නැත්නම් සමහර විට ටැංකි ටික විතරක් නෙමේ ඔය ප්‍රදේශම බෝම්බවලින් විනාස වෙන්නත් තිබ්බා. නමුත් ඒවා ආරක්ෂා වුණා. මම කියන්නේ දේශපාලනඥයින්ට මේවා ගැන බලන්න හොඳ ඇසකින්. හැම වෙලේම කුහක වෙන්න එපා.”