අලුත් අගවිනිසුරු නම් කරන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි

අලුත් අගවිනිසුරු නම් කරන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි

October 12, 2018   12:09 pm

සේවාවේ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව  නව අගවිනිසුරුවරයා ලෙස පත් විය යුතු තැනැත්තාගේ නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වසර 30ක පමණ කාලයක් අධිකරණ ක්ෂේත්‍රයේ පත්වීම් ලබාදීමේදී ජ්‍යෙෂ්ඨත්වය සලකා බැලීමක් සිදුව නොමැති බවයි.

ඒ අනුව වසර 39කට ආසන්න කාලයක් අධිකරණ ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත තැනැත්තෙකු මීළඟ අගවිනිසුරු ලෙස නම් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නිලධාරින් පිරිසකට පත්වීම් ලබාදීම වෙනුවෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ අද(12) පෙරවරුවේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ වන විට පළමුවරට රැස්ව තිබේ.

නව අගනිවිසුරුවරයා වශයෙන් ජනාධිපතිවරයා යොමු කළ නාමයෝජනය සම්බන්ධයෙන්  තීරණයක් ගැනීම ඔවුන්ගේ පළමු රාජකාරිය වෙයි.

ඉදිරිපත්ව ඇති කරුණු අනුව බොහෝ දුරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා නව අගනිවිසුරුවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවනු ඇති බව වාර්තා වෙයි.

ඔහු මහේස්ත්‍රාත් අධිකරණයේ සිට අධිකරණ ධූරාවලියේ ඉහළට පැමිණ ඇති අයෙකු වන අතර 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්ව තිබේ.

වත්මන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද සිය ධුරයෙන් විශ්‍රාම ගැනිමට නියමිතයි.