පැලවත්තේ ගින්න නිවන්න පොලිස්-යුද-ගුවන් සහය

පැලවත්තේ ගින්න නිවන්න පොලිස්-යුද-ගුවන් සහය

October 11, 2018   02:56 pm

2.30pm: -
අද උදෑසන 11.10 ට පමණ  බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ වෙළඳ සැලක ඇති වු ගින්න පාලනය කිරීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 10 ක් පිටත් කර යවා තිබේ.

කොළඹ නගර සභාවේ සහ කෝට්ටේ නගර සභාවෙන් මෙම රථ පිටත්ව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ගින්න පාලනය කිරීම සඳහා මේ වන  විට ශ්‍රි ලංකා පොලීසිය, යුද හමුදාව හා ගුවන් හමුදාව මෙන්ම ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ සහය ද ලබා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

තවමත් කොට්ටාව - බත්තරමුල්ල ගමනාගමනය සීමා කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති. 

තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන  සිදු කරයි.


1.31pm:-බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක හටගත් ගින්න නිවීම සඳහා මේ වන විට ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදාගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම ප්‍රදේශයේ අවට මේ වන විට විදුලියද විසන්ධි කර ඇති බව වාර්තා වෙයි.

----------

බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබේ.

රෙදිපිළි හා වෙනත් ද්‍රව්‍ය අලෙවි කරන මෙම ස්ථානයේ අද(11) උදෑසන මෙම ගින්න හට ගෙන ඇත.

මේ හේතුවෙන් බොරැල්ල-කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ගින්න ඉතා වේගයෙන් පැතිර යන අතර, වෙළඳ සැල ආසන්නයේ ඇති ටයර් අලෙවි කිරීමේ වෙළඳ සැලට මෙය ව්‍යාප්ත වී ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේය.

ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, සිදුව ඇති හානිය මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ පිටත්ව ගොස් ඇති බව ගිනි නිවීමේ ඒකකය පවසයි.