ජීවිත අනතුරට පත් කරන අනාරක්ෂිත තැනක්

ජීවිත අනතුරට පත් කරන අනාරක්ෂිත තැනක්

September 11, 2018   12:13 pm

මස්කෙළිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගය පසෙක නව ඩීසල් ටැංකියක් සවිකිරීම සඳහා කැණීම් කටයුතු කර ඇති ගැඹුරු වලේ ආරක්ෂක වැටක් හෝ කිසිදු ආවරණයක් ඉදිකර නොමැති නිසා එම ස්ථානයේ දැඩි අවධානම් තත්ත්වයක පවතින බව නගරයට පැමිණෙන ජනතාව පවසති.

මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතියට අයත්, මස්කෙළිය ඉන්ධන පිරවුම්හල් පරිශ්‍රයේ,අඩි 15 ක් පමණ ගැඹුරට කැණීම් කටයුතු කර ඇති මෙම ගුඹුරු වලේ පළල අඩි 15 ක් පමණ වෙයි.

මේ වන විට එම වලේ අඩි 05 ක් පමණ වැසි ජලය පිරී ඇති අතර එම ජලයේ ඩෙංගු මඳුරු කීටයන් බෝ වීමේ අවධානමක්ද පවති. 

මෙම ගුඹුරු වලට පිටතින් එහි ඇති අවධානම් තත්ත්වය පිළිබඳව දන්වා නාම පුවරුවක්ද සවිකර නොමැත. 

පාසල් ළමයින් ඇතුලු විශාල ජනතාවක් මෙම ස්ථානයෙන් මස්කෙළිය නගරයට, හැටන්, නෝටන්බ්‍රිජ් හා නල්ලතන්නිය ප්‍රදේශ සඳහා ගමන් කරන බස් රථ අපේක්ෂාවෙන් රැඳී සිටින බස් නැවතුම්පලවල් කරා දිනපතා ගමන් කරති.

මෙම අවධානම් වලට වැටී කිසිවෙකු හෝ අනතුරට ලක්වීමට ප්‍රථම එම ස්ථානයේ කඩිනමින් ආරක්ෂක වැටක් ඉදිකරීමට පියවර ගන්නා ලෙස  ප්‍රදේශයේ ජනතාව වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.