ගෝඨාභයගේ තහනම් නියෝගය ඉදිරියටත් බලාත්මකයි

ගෝඨාභයගේ තහනම් නියෝගය ඉදිරියටත් බලාත්මකයි

June 14, 2018   02:36 pm


පසුගිය රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් දැනට පනවා තිබෙන තහනම් නියෝගයක් ඉදිරියටත් බලාත්මක කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් පොදු දේපල පනත යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති සහතිකය ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අදාළ කර නොගන්නා ලෙස ද අධිකරණය නියම කර සිටියේය.

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද(14) අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය සහ නීතිපතිවරයා අතර එකඟතාවන් කිහිපයක් ඇති කරගෙන තිබූ අතර ඒවා ලිඛිතව අධිකරණය හමුවේ සටන් කර ගැනීම සිදු කෙරුණි.

ඒ අනුව පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ තවදුරටත් සහතික  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බව ද නීතිපතිවරයාගේ පාර්ශවයෙන් අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය තවදුරටත් නියම කර සිටියේ මහේස්ත්‍රාත් අධිකරණය නොතීසියක් ලද විට පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණ හමුවේ පෙනී සිටි යුතු බවයි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබන 25 වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවට ද ගෝඨාභය රාජපක්ෂ මහතාට  අධිකරණය නියම කළේය.

ඉන් අනතුරුව පෙත්සම ජුලි මස 25 වනදා කැඳවීමට ද අභියාචනාධිකරණ විනිසුරුවරුන් තීන්දු කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ මැදමුලන ඩී.ඒ.   රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් රුපියල් මිලියන 90 කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමට සූදානම් වන බවයි.

ඒ සඳහා පොලීසිය විසින් දැනටමත් පොදු දේපල පනත යටතේ සහතිකයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවත් එම සහතිකය ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බව පෙත්සම්කාර රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.

ඒ අනුව අදාළ සහතිකය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ අතර අදාළ පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන සහතිකය මත පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව  ක්‍රියා කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය  පොලීසිය වෙත දැනටමත්  තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.