නව ක්‍රිකට් නිලවරණයකට අනුමැතිය

නව ක්‍රිකට් නිලවරණයකට අනුමැතිය

June 14, 2018   12:16 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අලුතෙන් නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා එම ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද(14) කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සූමති ධර්මවර්ධන මහතා මෙම දැනුම්දීම සිදු කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අලුතින් නිලවරණය පැවැත්වීමට ඉදිරියේදී කටයුතු කෙරෙන අතර දැනට කැඳවා තිබෙන නාම යෝජනා සියල්ල අවලංගු කර අලුතෙන් නාමයෝජනා කැඳවීමක් පියවර ගන්නා බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා නාමයෝජනා කැඳවන වකවානුව, ඒ සඳහා විරෝධතා ඉදිරිපත් කරන කාල සීමාවන් සහ විරෝධතාවලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාවන් පිළිබඳ සවිස්තර තොරතුරු මීළඟ නඩු දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද දන්වා සිටියේය.

ඒ අනුව අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම කරුණු සටහන් කරගත් අතර පෙත්සම් පිළිබඳව වැඩිදුර සලකා බැලීම ජුලි මස 4 වනදා සිදුකරන බව නියම කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නිලවරණය පැවැත්වීම වළකාලමින් දැනට පනවා තිබෙන වාරණ යෝගය විසුරුවා හැරීමට ද අධිකරණය නියම කළේය.