නිශාන්ත තිලංගට එරෙහි වෙයි

නිශාන්ත තිලංගට එරෙහි වෙයි

May 28, 2018   12:06 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා එම ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා තරග කිරීම වළක්වාලමේ තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම ආයතනයේ හිටපු ලේකම්වරයකු  මෙන්ම වත්මන් නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග කරන අපේක්ෂකයෙකු වන  නිශාන්ත රණතුංග මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයින්,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු 27 දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් අධිකරණය හමුවේ කියා සිටින්නේ ලබන 31 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කරන වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ නාම යෝජනාව නීතියට පටහැනි බවයි.

එම නාමයෝජනාව මත තිලංග සුමතිපාල මහතා අදාළ තනතුර සඳහා තරග කළහොත් ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් අදාළ පෙත්සම විභාග කොට අවසන් තීරණයක් ලබා දෙන තෙක් තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා තරඟ කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.