මරණ පරීක්ෂණයක් නැති සැකකටයුතු මරණයක් ගැන පොලිස් පරීක්ෂණ-දරුවාගේ පාදයක පිළිස්සුම් තුවාල

මරණ පරීක්ෂණයක් නැති සැකකටයුතු මරණයක් ගැන පොලිස් පරීක්ෂණ-දරුවාගේ පාදයක පිළිස්සුම් තුවාල

May 15, 2018   01:32 pm

මාළිගාවත්ත පොලිස් වසමේ මහල් නිවාසයක සැකකටයුතු ලෙස මිය ගිය පිරිමි ළමයෙකු මරණ පරීක්ෂණයකින් තොරව අවසන් කටයුතු සිදු කිරීමට යන බවට ලද තොරතුරක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ(14) සවස 5ට පමණ මහල් නිවාස, හිජ්රා මාවත, කොළඹ 10 යන ලිපිනයේ මෙම මරණය තිබී ඇති බවට මාළිගාවත්ත පොලීසියට තොරතුරක් හිමිව ඇත.

පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී වයස අවුරුදු 2ක් වු මොහොමඩ් අලි මොහොමඩ් උස්මාන් ඉකම් නැවති පිරිමි දරුවෙකු මිය ගොස් ඇති අතර, දෙමාපියන් ප්‍රකාශ කර ඇත්තේ අධික සීනි වැඩිවීම හේතුවෙන් දරුවා මිය ගිය බවයි.

සිදු කරන ලද විමර්ශනවලදී දරුවාගේ වම් පාදයේ පිළිස්සුම් තුවාල කිහිපයක් ඇති බව දක්නට ලැබී ඇති අතර, මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් අළුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ.

ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණය නියෝග කර ඇත.

මෘත ශරීරය බොරැල්ල ළමා රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, අද(15) පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

මාළිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.