ඉදිරි මූල්‍ය ප්‍රගතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය

ඉදිරි මූල්‍ය ප්‍රගතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය

April 22, 2018   07:07 pm



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තම ඉදිරි ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රී ලංකාවේ ඉදිරි මූල්‍ය ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ.

එම අරමුදලේ නියෝජිතයින් වොෂිංටන් නුවර පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉදිරිපත් කර තිබූ නිවේදනයක දැක්වුණේ ‍ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ඉන්ධන මිල යාන්ත්‍රණය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව ඇති බවයි.

ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර මුදල් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාවට නංවා තිබේ.

ඒ යටතේ අදියර කිහිපයකින් මෙරටට ණය මුදල් හිමිවන අතර යෝජිත සමස්ථ ණය මුදලෙහි වටිනාකම අමරිකාණු ඩොලර් බිලියන එකයි දශම පහකි.

අවස්ථා කිහිපයකදී මෙම ණය ප්‍රදානයන් සිදුවූ අතර  සිව්වන අධියර ක්‍රියාත්මක වීමට ඇත්තේ  ලබන ජූනි මාසයේදීයි.

මෙම ණය පිරිණැමීම සදහා රටේ මූළ්‍ය ස්ථාවරත්වය මෙන්ම රජය මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීමට ගෙන ඇති පියවර කෙරෙහිද අවධානය යොමුකරණු ලැබිණි.

ඒ අනූව දැනටමත් කැබිනට් අනුමැතියට යොමුව ඇති ස්වයංක්‍රීය ඉන්ධන මිල යාන්ත්‍රණය , දේශීය අදායම් පනත ක්‍රියාවට නැංවීමේ පවතින ප්‍රගතිය , විදේශ සංචිත පවත්වාගෙන යන ආකාරය ,  විදේශ විනිමය හුවමාරු අනුපාතය ස්ථාවරව රැකගැනීම ආදිය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානයෙන් පසුවන බව නිවේදනය කර තිබේ.

ඔවුන්ගේ ඇස්තමේන්තුවට අනූව 2018 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 04 ක් පමණ වනු ඇති බවටත් , උද්ධමනය සියයට 05කට අඩු මට්ටමක පවතිනු ඇති බවටත් වාර්තා වේ.