ඉදිරි වර්ෂය තුළ සහල් හිඟයක් ඇති වෙන්නේ නැහැ

ඉදිරි වර්ෂය තුළ සහල් හිඟයක් ඇති වෙන්නේ නැහැ

April 22, 2018   05:22 am



අවුරුද්දකට ප්‍රමාණවත් තොග තිබෙන බැවින් ඉදිරි වර්ෂය තුළ මේ රටේ සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය පවසයි.

පසුගිය මහ කන්නයේදී සහල් මෙට්රික් ටොන් 16 ලක්ෂයක් නිපදවා ඇති අතර එය මාස 8කට සෑහේ. මෙවර යල කන්නයේ වී අස්වැන්න සරු වී ඇති බැවින් සහල් මෙට්ට්‍රික් ටොන් දස ලක්ෂයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එය මාස 4කට ප්‍රමාණවත්ය. ශ්‍රී ලංකාවට වසරකට අවශ්‍ය වන සහල් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 24කි. ඒ නිසා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 2ක අතිරික්තයක් බලාපොරොත්තු වන හෙයින් සහල් හිගයක් ඇති නොවන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ නිලධාරී සහ ජීවන වියදම් කමිටුවේ සාමාජික ඩබ්ලිව්. ඒ . දුම්න්ද ප්‍රියදර්ශන මහතා පැවසීය.

"2016 වසරේ යල සහ මහ කන්න හා 2017 වසරේ යල කන්නයේද වී වගාව දීර්ඝ නියඟය සහ සමහර පළාත් වල හට ගත් ගං වතුර හේතුවෙන් අසාර්ථක වීම නිසා 2017දී සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 5ක හිඟයක් ඇති වුණා. ඒ නිසා එම ප්‍රමාණය පිටරටින් ගෙන්වනු ලැබුවා. එහෙත් 2017/2018 මහ කන්නයේ වගාව සාර්ථක වීම නිසා වී මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 24ක අස්වැන්නක් ලැබී තිබුණා. එයින් සහල් මෙට්ට්‍රික් ටොන් 16ලක්ෂයක් නිපදවනු ලැබුවා. මේ නිසා සහල් හිඟයක් ඇති වේ යැයි දැන් බිය විය යුතු නැතැයිද ප්‍රියදර්ශන මහතා වැඩිදුරටත් පැවසීය.