අවසන් ගමනත් එකටම යයි-එකම පවුලේ 2ක් බේරුවල මුහුදට බිලි

අවසන් ගමනත් එකටම යයි-එකම පවුලේ 2ක් බේරුවල මුහුදට බිලි

April 21, 2018   03:55 pm



බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගිය කාන්තාවක ඇතුළු එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිළී ජීවිතක්ෂයට පත්ව තිබේ.

27 හැවිරිදි තරුණයෙකු සහ ඔහුගේ 24 හැවිරිදි නැගණිය සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

බේරුවල මුහුද ආශ්‍රිත කුඩා දුපතක පිහිටා ඇති ප්‍රදීපාගාරය නැරඹීම සඳහා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් පවුලේ තවත් ඥාතීන් පිරිසක් සමඟ අද උදෑසන ගොස් ඇති බව සඳහන්ය.

ඉන් සිව් දෙනෙකු දූපත ආශ්‍රිත වෙරළේ ගල්පරයක් මත රැඳී සිටි අවස්ථාවේ රළ පහරකට හසුව මුහුදට ගසාගෙන ගොස් තිබේ.

කෙසේවෙතත් ඉන් දෙදෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධියෙන් දියේගිළී මියගිය තරුණියගේ සහ තරුණයාගේ මළ සිරුරු පසුව සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.