අවුරුදු උත්සවේ ප්‍රසිද්ධියේ බියර් විකුණලා-බියර් කෑන් 240ක් එක්ක මාට්ටු

අවුරුදු උත්සවේ ප්‍රසිද්ධියේ බියර් විකුණලා-බියර් කෑන් 240ක් එක්ක මාට්ටු

April 18, 2018   04:17 pm


බිංගිරිය ප‍්‍රදේශයේ අවුරුදු උත්සවයේ ආපන ශාලාවක ප‍්‍රසිද්ධියේ බීර අලෙවි කළ අයෙකු බීර කෑන් 240ක් සමඟින් කුලියාපිටිය සුරාබදු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ බිංගිරිය කහවලවත්ත ප‍්‍රදේශයේ සැකකරුවෙකු වූ අතර රුපියල් 15000ක් තරුණ සංගමයට ලබාදී සැකකරුවිසින් ආපන ශාලාව ලබාගෙන ආහාර පාන අලෙවි කරන අතරතුර බීර විකුණා ඇත.

මෙහිදී නියමිත මිල අභිබවමින් මිලිලීටර 350 බීර කෑන් එකක් රුපියල් 250 කටත් මිලිලීටර 500 කෑන් එකක් රුපියල් 350 ටත් උත්සව භූමියේ අලෙවිකර තිබූ බව මූලික විමර්ශන තුළින් හෙළිව තිබිණි.

හෙළ සිරිත සංස්කෘතිය අනාගතයට උරුම කිරීම වෙනුවෙන් සංස්කෘතිකාංග රැසකින් සමන්විතව අවුරුදු උළෙල සංවිධානය කර තිබුණත් උදෑසන පටන් අදාළ අවුරුදු උත්සව භූමියේ තරුණයින් අතර බීර අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව කුලියාපිටිය සුරාබදු නිළධාරීන් විසින් වැටලීම සිදුකොට තිබිණ.

අවුරුදු උත්සවය නිමාවී සංගීත සන්ධ්‍යාව ආරම්භ වන තෙක් කාලය තුළ සුරාබදු නිළධාරීන් යනවිටත් අදාළ තාවකාලික ආපනශාලාව වටා ලාබාල වයසේ තරුණ තරුණියන් පවා රැඳී සිටින් නිරීක්‍ෂණය වී ඇති හෙයින් උපාය ධූතයෙකු මාර්ගයෙන් බීර මිලදී ගැනීමත් සමඟම සැකකරු හා බීර තොගය අත්අඩංගුවට ගෙන තිබිණ.‍

සැකකරු හා බීර තොගය අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.