කැලණි ගඟේ මිය ගියේ ටෙලි නාට්‍ය නිළියක්-ගඟ මැද්දට යන්න එපා කියද්දිත් ඈතට ගිහින්

කැලණි ගඟේ මිය ගියේ ටෙලි නාට්‍ය නිළියක්-ගඟ මැද්දට යන්න එපා කියද්දිත් ඈතට ගිහින්

April 17, 2018   06:09 pm

කැලණි ගඟේ දිය නෑමට ගොස් අවුරුදු 27ක එක් දරු මවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය කියයි.

මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍ය සහය නිළියක් මෙසේ මිය ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

පවුලේ සමාජිකයන් සමඟ කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ඇති මෙම කාන්තාව ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදි කැලණි ගඟේ අද(17) පස්වරු 1.30 පමණ දිය නාමින් සිටියදි සැඩ පහරකට හසු වී ගසා ගෙන ගොස් ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

පවුලේ සමාජිකයන් හා ප්‍රදේශවාසින් එක්ව සැඩ පහරට හසු වි ගසා ගෙන ගිය කාන්තාව සොයා සිදු කළ මෙහෙයුමකින් පසුව එම කාන්තාවගේ සිරුර දිය නෑම සිදු කළ ස්ථානයට මදක් දුරින් කැලණි ගඟේම තිබි සොයා ගෙන ඇති අතර එම සිරුර කිතුල්ගල තැලිගම රෝහලේ වෙත යොමු කර ඇත.

ජිවිතක්ෂයට පත් කාන්තාව දියනැම සිදු කළ ස්ථානය දිය නැම අවධානම් බව සඳහන් කරමින් දැන්විම් පුවරු පවා සවි කර ඇති බව ගිනිගත්හේන  පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම මහතා කියා සිටියේය.

දිය නැමට කැලණි ගඟට බැස ඇති මෙම කාන්තාව කැලණි ගඟේ මැදට ගිය බවත් , ගඟ මැදට නොයන ලෙස පවුලේ සමාජිකයින් ඇයට කෑ ගසා කි බව ද ඇගේ ඥාතියකු කියා සිටියේය.

මෙම විනෝද චාරිකාව සඳහා මිය ගිය කාන්තාවගේ මව සහ පියාද එක් වි ඇති අතර විනෝද චාරිකාව ගැන මව සහ පියා අතර මත භේදයක් ද හට ගෙන තිබු බව ගිනිගත්හේන පොලිසිය කියයි.

මෙම අනතුර පිළිබඳව ගිනිගත්හේන පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.