අලුත් අවුරුද්දට ගෙදර එනවා කියූ ව්‍යාපාරිකයා තාම ඇවිත් නෑ - ව්‍යාපාරිකයා අතුරුදහන්?

අලුත් අවුරුද්දට ගෙදර එනවා කියූ ව්‍යාපාරිකයා තාම ඇවිත් නෑ - ව්‍යාපාරිකයා අතුරුදහන්?

April 16, 2018   10:01 pm



කිළිනොච්චියේ ආනෙයිවිලුන්දාන් ප්‍රදේශයේ පදිංචි කොළඹ ව්‍යාපාර හිමි කෝටිපති ව්‍යාපාරිකයා අතුරුදහන් වී ඇති බවට එම ව්‍යාපාරිකයාගේ බිරිද  කිළිනොච්චිය අක්කරායන් පොලිස් ස්ථානයට පැමිණිලි කොට තිබේ.

වේලායුදන් විග්නේස්වරන් නැමති තම සැමියා අප්‍රේල් මස නව වෙනි දින කොළඹ සිට දුරකථනයෙන් තමන්ට කතා කළ බවත් අලුත් අවුරුද්දට නිවසට එන බව පැවසුවද දහ වෙනිදා සිට ඔහුගෙන් කිසිම තොරතුරක් නොමැති බව අතුරුදහන් වු ව්‍යාපාරිකයාගේ බිරිද වන වී.විජයකුමාරී පොලීසියට පැමිණිලි කොට ඇත.

මේ වන විට ඔහුගේ දුරකථනය අක්‍රීයව පවතින බවත් ඔහු කොළඹ පදිංචිව සිටි නිවසේ උදවියට කිළිනොච්චියට යන බව පවසා  දහ වෙනිදා පිට වී ඇතත් ඔහු නිවසට නොපැමිණි බවත් ව්‍යාපාරිකයාගේ බිරිද පොලීසියට පවසා තිබේ.

කිළිනොච්චිය අක්කරායන් පොලීසියට ලද මෙම පැමිණිල්ල පිළිබඳව මේ වන විට පොලිස් මුලස්ථානය දැණුවත් කොට ඇති අතර අක්කරායන් හා කිළිනොච්චි යන පොලිස් ස්ථාන අතුරුදහන් වූ මෙම ව්‍යාපාරිකයා සෙවීමේ පරීක්ෂණ ආරම්භ කොට තිබේ