කුවේට් යුද සමයේ එරට සේවය කළ 72 හැවිරිදි කතක් වසර 40කට පසු නැවත ලංකාවට එද්දි බාර ගන්න කෙනෙක් නෑ

කුවේට් යුද සමයේ එරට සේවය කළ 72 හැවිරිදි කතක් වසර 40කට පසු නැවත ලංකාවට එද්දි බාර ගන්න කෙනෙක් නෑ

April 16, 2018   01:26 pm


වසර 40 ක් එක දිගට කුවේටයේ ගෘහ සේවයේ යෙදුන 72 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක්, ඉකුත් ගුවන් මඟින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

ඇය සතු කිසිදු  මුදලක් හෝ දේපළක් මෙන්ම ඇය භාර ගැනීමට කිසිවෙකුත් නොමැතිව කටුනායක 18 කණුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  සහන පියස රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගෙන ඇතැයි එහි ප්‍රකාශිකාවක් පවසා තිබේ.

ඇය අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පින්නදූවගේ ගුණවතී නැමති ගෘහ සේවිකාවයි.

ඇය ඊයේ(15) දින උදෑසන 10.20 ට පමණ කුවේටයේ සිට පැමිණි කුවේට් ගුවන් සේවයේ කේ.යූ.- 363 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

පසුගිය කුවේට් යුද සමයෙත් ඇය කුවේටයේ රැදී සිට ඇති අතර, ඇය වසර 40 ක් ම එක දිගටම එරට ගෘහ සේවයේ යෙදී සිට තිබේ.

එහෙත් ඇය ඉතිරි කර ගත් කිසිදු දේපළක් හෝ මුදලක් නොමැතිව, එරට තානාපති කාර්යාලයේ රැදවුම් මධ්‍යස්ථානයේ සිට මෙරටට එවා තිබුණි.

ඇයට කුවේට් යුද වන්දි මුදල් හෝ ඇයගේ ගෘහ සේවය වෙනුවෙන් වැටුප් ලබා දීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර නොතිබුණු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශිකාව සඳහන් කරයි.

මේ වනවිට මෙම ගෘහ සේවිකාව භාර ගැනීමට කිසිදු ඥාතියෙකු ඉදිරිපත් නොවීම නිසා, ඇය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මහලු නිවාසයක් වෙත යොමු කිරීමට අවධානය යොමු වී ඇතැයි එම ප්‍රකාශිකාවක වැඩිදුරටත් පැවසුවාය.