කුඹුක්කන් ඔයේ විනාශය

කුඹුක්කන් ඔයේ විනාශය

March 2, 2018   11:02 am

නීතිය ආරක්ෂා කරන පිරිස්වල ආශිර්වාදයෙන් කුඹුක්කන් ඔය ද විනාශ කරමින් සිදුකෙරෙන මහා පරිසර විනාශයක් පිළිබඳව අද දෙරණ උකුස්සා තොරතුරු රැසක් අනාවරණය කර ගනු ලැබීය.

අද උකුස්සාගේ අනාවරණය ඒ පිළිබදවයි. 

මොණරාගල ප්‍රදේශයේ ජන ජීවිතයට මහා ශක්තියක් ලබා දෙමින් මනා සුන්දරත්වයකින් යුතුව ගලා බසින ගංගාවක් ලෙස කුඹුක්කන් ඔය හැඳින්විය හැකියි.

මෙමඟින් ජනතාවට සැලසෙන සෙත සම්බන්ධයෙන් තවදුරටත් අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ.

එවන් පසුබිමක බලධාරීන්ගේ අවධානය නිසි ලෙස යොමු නොවීම නිසා කුඹුක්කන් ඔයේ ඔක්කම් පිටිය තුනේ කණුව වීකොටුව ප්‍රදේශයේ සිදු කරන වැලි කැණීම් හේතුවෙන් ඔයට අද අත්වී ඇති ඉරණම අපට දක්නට ලැබුණි.

උකුස්සා වැඩිදුරටත් සිදු කළ සොයා බැලීමේදී දැක ගත හැකි වුණේ ගං ඉවුරු තුළ වැලි කැණීම සම්පූර්ණයෙන්ම තහනම් වූවත් මෙහි වැලි කැණීම් සිදුකරන පුද්ගලයින් විසින් ගංඉවුරුද විනාශකරමින් වැලි කැණීම් සිදුකරන ආකාරයයි.

මේ අතර ප්‍රදේශවාසීන් පවසන්නේ ඔයේ ඉහළ ප්‍රදේශයේ සිදුකෙරෙන මෙම වැලිකැණීම් හේතුවෙන් වැසි නොමැති කාලයට ඔයේ පහළ කොටසට ජලය නොලැබීම නිසා ජනතාව දැඩි පීඩාවට ලක්වන බවයි.

කෙසේ වෙතත් මෙම වැලිකැණීම් හේතුවෙන් සිදුවන පරිසර හානිය පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් බලධාරීන් කොතෙක් දැනුවක් කළද ඔවුන්ගේ නිසි අවධානයක් මේ වෙත නොලැබීම පිළිබඳව සැබවින්ම පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක්.

බලධාරීන් තවදුරටත් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන්නේ කුඹුක්කන් ඔය තවදුටත් විනාශවන තෙක්ද ?

දැන්වත් බලධාරීන්ගේ අවධානය මේ දෙස යොමුවන තෙක් උකුස්සා සීරුවෙන්...