ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා මුලතිව් ජනතාව විරෝධතාවයක

ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා මුලතිව් ජනතාව විරෝධතාවයක

February 22, 2018   04:42 pm



මුලතිව්,වට්ටුවාල් පිහිටි නාවික හමුදා කඳවුර වෙත පවරාගෙන ඇති ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලා මුලතිව් නැවත පදිංචි ජනතාව අද (22) මුලතිව් වට්ටුවාල් පිහිටි ගෝඨාභය නාවික හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක නිරතවිණ.

මුලතිව් නැවත පදිංචි ජනතාව පැවසූවේ තමන් යුද්ධට පෙර ධීවර රැකියාව සිදුකළ  ප්‍රදේශයේ පිහිටුවා ඇති නාවික හමුදා කඳවුර වෙත අයත් ඉඩම් නාවික හමුදා කඳවුර වෙත පැවරීමට අද (22) මිනුම් කටයුතු සිදුකිරීමට සුදානම්වීමට විරුද්ධව මුලතිව් නැවත පදිංචි ජනතාව විරෝධතාවයේ නිරතවු බවයි.

විරෝධතාකරුවන් පැවසූවේ වට්ටුවාල් පාලම අසළ සිට මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් දක්වා වන සීමාවේ අක්කර 600 ක ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව වෙත පවරාගෙන ඇති බවයි.

වර්තමානයේ නාවික හමුදා කඳවුර ස්ථාපිත කොට ඇති සීමාවේ යුද්ධයට පෙර සිවිල් වැසියන් ජිවත්වු අතර, අදාළ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් තමන් ධීවර රැකියාව සිදුකළ බවද මුලතිව් වැසියන් පැවසූහ.

අදාළ ඉඩම් නාවික හමුදා කඳවුර වෙත පැවරීම වළක්වා සිවිල් වැසියන් වෙනුවෙන් පවරාදිය යුතු බවට ඉල්ලීම් කරමින් විරෝධතාකරුවන් මුලතිව් නාවික හමුදා කදවුර ඉදිරිපිට පඹයෙකුට ගිනි තබමින් විරෝධතාවයේ නිරතවි

විරෝධතාවය හේතුවෙන් මුලතිව් සිට වට්ටුවාල් පාලම හරහා වාහන ගමනාගමනයටද බාධා එල්ලවී තිබිණි.

විරෝධතාවය‍ වෙනුවෙන් ප්‍රදේශයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන එම්.කේ.ශිවාජිලිංගම් මහතා,ටී.රවිහරන් මහතා, ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, ධීවර ජනතාව, මුලතිව් වැසියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.