ශ්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨයින් ජනපති හමුවෙයි-රනිල්ට අගමැති පුටුව අහිමි වෙයිද?

ශ්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨයින් ජනපති හමුවෙයි-රනිල්ට අගමැති පුටුව අහිමි වෙයිද?

February 18, 2018   05:31 pm



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබේ.

අද  රාත්‍රී ජනාධිපති නිල නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකර ඇති යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවට ජනාධිපතිවරයාට දැනුම්දීම මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අග්‍රමාත්‍ය   රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අග්‍රමාත්‍යවරයෙකු පත් කිරීමේ යෝජනාව ද මෙහිදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ සඳහා යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර කථානායක කරු ජයසූරිය මහතා ද අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබේ.

කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීවෙන් අනතුරුව කථානායකවරයා ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවයි.

වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.