රැස්වීමට සෙනඟ නොදුන්නැයි බැංකු මැනේජර්ට මරණ තර්ජන

රැස්වීමට සෙනඟ නොදුන්නැයි බැංකු මැනේජර්ට මරණ තර්ජන

November 21, 2017   03:37 pm




අම්පාරේ රාජ්‍ය බැංකු ශාඛාවට අනවසරයෙන් කඩා වැදුනු පිරිසක් විසින් බැංකු පරිශ්‍රයේ කලහකාරී ලෙස හැසිරී කළමණාකාරවරයා මරා දමන බවට තර්ජනය කර ඇති පුවතක් වාර්තා වෙයි.

අදාළ බැංකු සේවක සංගමයේ නියෝජිත පිරිසක් බව සඳහන් කළ කණ්ඩායමක්, ඊයේ (21) පස්වරුවේ හදිසියේම බැංකු පරිශ්‍රයට කඩා වැදී එහි කළමණාකරුට සහ සේවක මණ්ඩලයට තර්ජනය කර තිබේ.

කිසිඳු විධිමත් අවසරයකින් තොරව බැංකු ශාඛාවට පැමිණි දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, වෘත්තීය සමිති රැස්වීමක් පැවැත්වීමට අවශ්‍ය බවත්, ඒ සඳහා වහාම සේවකයින් සහභාගී කරවන ලෙසත් එහි කළමණාකාරවරයාට දන්වා ඇත.

නමුත්, නිසි අවසරයකින් තොරව රාජකාරී වේලාව තුළ රැස්වීම් පැවැත්වීම හෝ වෙනත් යම් රාජකරී නොවන කටයුත්තක් සඳහා තමන් යටතේ සිටින සේවකයින් සහභාගී කරවීම නොහැකි බවත්, ඒ සඳහා විධිමත් අවසරයක් ලබා ගෙන පැමිණ එවැනි කටයුත්තක් පවත්වන්නේ නම් තමන්ට ගැටළුවක් නොමැති බවත් කළමණාකරවරයා විසින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් දන්වා තිබේ.

මේ අවස්ථාවේ එම පිළිතුරෙන් උරණ වූ බාහිරින් පැමිණි පිරිස ශාඛා කළමණාකරවරයා තම අවශ්‍යතා ඉටු නොකරන්නේ නම් මරා දමන බවට තර්ජනය කර ඇති අතර ඔහුගේ නිල කාමරයේ දී කළහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වෙයි.

මෙහිදී ඇතිවූ තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ පසුබිමක සේවකයින් විසින් ශාඛාවේ ආරක්ෂිත සීනු නාද කර ඇති අතර ඒ අවස්ථාවේ පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කර තිබේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ශාඛා කළමණාකරු විසින් පුද්ගලයින් දස දෙනෙකු ශාඛාවට බලහත්කාරයෙන් ඇතුළු වී, රාජකාරියට බාධා කරමින්, අසැභි වචනයෙන් බැණ වැද, මරණ තර්ජනය සිදු කිරීම සහ බැංකුවේ කටයුතු වලට බාධා කරමින් බැංකුවේ භාරයේ තිබූ මුදල් හා ස්වර්ණාභරණ වල ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අම්පාර පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.