නැගෙනහිර සුනාමි බියෙන් ඇලලේ -  වෙරළාසන්න පාසල් කාර්යාල හා රෝහල් වැසේ

නැගෙනහිර සුනාමි බියෙන් ඇලලේ - වෙරළාසන්න පාසල් කාර්යාල හා රෝහල් වැසේ

November 15, 2017   12:28 pm

අම්පාර කල්මුනේ ප‍්‍රදේශයේ හදිසියේම මුහුදේ ජලය අඩුවිමක් සිදුවි ඇත.

මේ හේතුව නිසා ප‍්‍රදේශයේ ජනතාව බිය වී මේ වෙන විට කල්මුනේ වෙරළ ආසන්නව ඇති පාසැල් වල සිටින දරුවන් මව්පියන් විසින් ඉවත් කරගෙන යමින් පවතී.

වෙරළ ආසන්නයේ ඇති රජයේ කාර්යාල වසා දමා ඇති  අතර වෙරළ ආසන්නයේ ඇති රෝහල් වල සිටින රොගින්ද ඉවත් කර ඇති බව ප‍්‍රදේශවාසින් පැවසීය.

කෙසේ වෙතත්  කිසිඳු භූකම්පනයක් මෙතෙක් සිදු වී නොමැති බවත් ජනතාව අනිසි බියක් මේ සම්බන්ධයෙන් ඇති කර ගත යුතු නැතැයි  අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පුකාශ කරයි.

එමෙන්ම අම්පාර හා මඩකළපුව යන ප්‍රදේශවල ජනතාව ළිංවල ඇති වූ යම් වෙනස්කමක් පිළිබඳවද අනිසි බියක් ඇතිකර ගත යුතු නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටින අතර එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ එම තත්ත්වය පිලිබඳව පරීක්ෂා කිරීමට අදාළ අංශ මේ වන විට දැනුවත් කර ඇති  බවයි.

ශ්‍රී ලංකාව තුළ යම් භූ චලන තත්ත්වයක් සිදුව නොමැති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බවද ඔහු කියා සිටියේය. 

නිවෙස්වලින් ඉවත්වූ අම්පාර හා මඩකළපුව යන ප්‍රදේශවල ජනතාවට යළි නිවෙස් කරා යන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ලබාදෙන නිවේදන අනුව කටයුතු කරන ලෙසත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.