මේ වර්ජනයේදී වගේම අනිත් වර්ජනවලදීත් ජනතාව ක්‍රියාත්මක විය යුතුයි

මේ වර්ජනයේදී වගේම අනිත් වර්ජනවලදීත් ජනතාව ක්‍රියාත්මක විය යුතුයි

July 27, 2017   09:17 pm



ඛනිජ තෙල් සේවක වර්ජනයට එරෙහිව ජනතාව නැගී සිටි අයුරින් අනෙකුත් වර්ජනවලදී ද ජනතාව ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ වර්ජනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

මේ අතර රජයේ ප‍්‍රතිපත්තිවලට අභියෝග කිරීමට වෘත්තීය සමිතිවලට නොහැකි බවද එස්. බී. දිසානායක මහතා කියා සිටියේය. 

ඛණිජ තෙල් සේවකයින් ඉකුත්දා ආරම්භ කළ වර්ජනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය. 


එමෙන්ම ඛණිජ තෙල් සේවක වැඩ වර්ජනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නොමැති බවද ඒ මහතා කියා සිටියේය.

මේ අතර හිටපු ජනාධිපතිවරයා ෂැංග්‍රිලා හෝටලයට ගෝල්ෆේස් එකෙන් අක්කර 06ක් ලබා දුන්නේ කැබිනට් එකටත් නොකියා බවත්, වරාය නගරයේ අක්කර 240ක් චීනයට සින්නක්කරේට ලබා දුන්නේද හිටපු ජනාධිපතිවරයා බවත් ඔහු පැවසීය.

එමෙන්ම හම්බන්තොට වරාය චීනයට බදු දීමේ කොන්දේසි  ශ්‍රී ලංකාවට ඉතා වාසි සහ සහගත බවද ඒ මහතා පවසයි.

මේ අතර බැඳුම්කර වංචාව ගැන මුලින්ම පැමිණිලි කළේ  ශ්‍රීලනිපය බවද ඒ මහතා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ වෘත්තීය සමිතිවලට රජයේ ප්‍රතිපත්ති විවේචනය කළ හැකි වුවද, වෘත්තීය අයිතිවාසිකම් නොවන ඉල්ලීම් සඳහා රට අකර්මණ්‍යවන ආකාරයේ වර්ජන ව්‍යාපාරයකට අවතීර්ණවීමට නොහැකි බවයි.

එමෙන්ම එය වැරදි ක්‍රියාවක් බවද ඒ මහතා කියා සිටියේය. 

මේ අතර එක්සත් ජාතික පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද මෙම පහරදීම සම්බන්ධයෙන් අදහස් පළ වුණි. 

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා  කියා සිටියේ  “ කොළොන්නාව පැත්තෙ මිනිස්සු කැති පොළු අරගෙන එනව දැක්කා. ඒ මිනිස්සු එදිනෙදා වක්‍ර රැකියා කරමින් ජීවත්වෙන මිනිස්සු. මේ වර්ජනය ගැන ඒ මිනිස්සුන්ට සාධාරණ වේදනාවක් ඇති.“