තාජුඩීන් ඝාතන විමර්ශන පමාව සුදුසු නෑ - පිටුපස වාහනවල සිටියවුන් සොයයි!

තාජුඩීන් ඝාතන විමර්ශන පමාව සුදුසු නෑ - පිටුපස වාහනවල සිටියවුන් සොයයි!

July 27, 2017   06:30 pm


වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ පරීක්ෂණ කටයුතු අගතියට පත් පාර්ශවයට යුක්තිය ඉටුවන ලෙස පරීක්ෂණ කටයුතු කඩිනම් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) මෙම නියෝගය ලබා දී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අදාළ නඩු අද කැඳවූ අවස්ථාවේදී වසීම් තාජුදීන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පෙන්වා දුන්නේ තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන්ද, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් තීරණයක් ලබාදී ඇති බවයි.

තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය  සිදුකිරීමේදී ඔහු නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බවට තීන්දුවක් ලබාදී ඇති බව නීතිඥවරුන් මෙහිදී පෙන්වාදෙන ලදී.

එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සිදුකරන ලද පරීක්ෂණයකින් ද , වෛද්‍ය ආනන්ද සමරසේකර වරදකරු කර ඇති බැවින් ඔහු අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මෙහිදී විමසා සිටි බව අප වාර්තාකරු පවසයි.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන්  චෝදනා 5ක් යටතේ පරීක්ෂණ සිදුකොට එයින් චෝදනා 3ට ඔහු වරදකරු කර ඇති බවයි.

ඒ අනුව වෛද්‍ය සමරසේකර මහතාගේ වෛද්‍ය සේවය මාස 6ක කාලයකට තහනම් කරමින් තීන්දුවක් ලබාදී ඇති බව ඇය අධිකරණය හමුවේ කියා සිටියාය.

එම අවස්ථාවේදී රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඩිලාන් රත්නායක මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වාර්තාව මේවන විට අධ්‍යයනය කරමින් සිටින බවයි.

 එම වාර්තාය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් වසීම් තාජුදීන් ගේ වාහනය පිටුපසින් ගමන් කළ  වාහන පෙළක සිටි පුද්ගලයින්  පිළිබඳ ඡයාරූප පෙළක් ලැබී ඇති බැවින් එම ඡායාරූප රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කොට පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බවද රත්නායක මහතා මෙහිදී කියා සිටියේය.

එමෙන්ම සිද්ධියට අදාළ දුරකථන ඇමතුම් පිළිබඳවද වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ඔහු සිහිපත් කළේය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රමාදවීම නුසුදුසු බව පෙන්වා දුන් කොළඹ අතිරේකක මහේස්ත්‍රාත් ට්‍රොස්කි මහතා මෙම පරීක්ෂණ  කඩිනම් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඒ අනුව අගෝස්තු 27 වන දින මෙම නඩුව යළි කැඳවීමටත්,  එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.

 



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.