දිවයින පුරා රථවාහන මෙහෙයුම් ඉදිරියටත්

දිවයින පුරා රථවාහන මෙහෙයුම් ඉදිරියටත්

June 18, 2017   09:48 am

මාර්ග විනය පවත්වාගෙන යාම සඳහා විශේෂ රථ වාහන මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ කොළඹ නාගරික සීමාව තුළ ප්‍රධාන මාර්ග ආශිතව පවතින මාර්ග තදබදයට හේතුව රථ වාහන ගමනාගමනය විධිමත්ව නොපැවතීම බවයි.

මේ හේතුවෙන් මහජනතාව විශාල පීඩාවකට පත්ව ඇති අතර රියදුරන් හා පදිකයින්ගේ මාර්ග විනය පවත්වාගෙන යාම සඳහා රථ වාහන නීතිය  දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා උපදෙස් ලබා දී තිබේ.

ඉලක්ක ගත රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය 12 වැනිදා සිට 16 වැනිදා දක්වා සිදුකරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම් මඟින් රථ වාහන වැරදි 9130ක් සඳහා නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

වැඩිම නඩු සංඛ්‍යාවක් පවරා ඇත්තේ මංතීරු නීතිය උල්ලංඝණය කිරීමේ වරදට වන අතර එම නඩු සංඛ්‍යාව 7456ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.