පස්කඳු කඩා වැටී 3ක් මරුට-දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු ඇඟවීම්

පස්කඳු කඩා වැටී 3ක් මරුට-දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු ඇඟවීම්

May 26, 2017   08:50 am




සපුගස්කන්ද - හෙයියන්තුඩුව ප්‍රදේශයේ නිවසක් මතට තාප්පයක් සහ පස් කන්දක් කඩාවැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

නිවස තුළ සිටි කාන්තාවන් දෙදෙනෙකු පස් කන්දට යටවී ඇති අතර රාගම රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
 
මේ අතර ගන්දර ප්‍රදේශයේද නිවසක් මතට තාප්පයක් කඩා වැටීමෙන් කාන්තාවක මියගොස් තිබේ.
 
මේ අතර  මාතර - දෙණියාය - මොරවක කන්ද ඊයේ(25) රාත්‍රීයේ නායයාමකට ලක්වී තිබේ. 

පොලීසිය සඳහන්කළේ අදාළ ප්‍රදේශයට ළඟාවීම සඳහා ගමන් කිරීමට නියමිතව තිබූ සියලුම මාර්ග ජලයෙන් යටවී ඇති බවයි. 

එමෙන්ම, කළුතර - බුලත්සිංහල ප්‍රදේශයේ ද නායයාමක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර බදුරලිය - බෙල්ලන මාවතවත්ත ඩෙල්කිට් වතුයායේ කන්දක් ද නාය ගොස් තිබේ. 

ආපදාවලට ලක්ව සිටින පිරිස් මුදා ගැනීම ඇතුළු සහන සැලසීමේ මෙහෙයුම් සඳහා බෙල් - 212 සහ එම්.අයි - 17 හෙලිකොප්ටර් යානා යොදවා ඇති බව ගුවන් හමුදාව පැවසුවේය.

එසේම, රත්නපුරය, කෑගල්ල, කළුතර සහ ගාල්ල, දිස්ත්‍රික්කවලට නායයාමේ අවදානමක් ද නිකුත් කර තිබේ.