ආණ්ඩුව ගෙදර යවන්න මහා සංඝයා එක් වෙන ලකුණු

ආණ්ඩුව ගෙදර යවන්න මහා සංඝයා එක් වෙන ලකුණු

March 27, 2017   05:18 pm

ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස හැසිරෙන වත්මන් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා භික්ෂූන් වහන්සේලා සියලු දෙනා විවිධ මතවාදයන් පසෙකලා එකාවන්ව එක් වෙන බව සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්‌මීමන දයාරත්න හිමියන් පවසයි.

අද (27) දින අභයාරාමයේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේ ය.

ආණ්ඩුව මෙලෙස ඒකාධිපති ලෙස ජනතාව බිය ගන්වමින් හැසිරෙන්නේ ජාතික සංවිධානයක් ලෙස භික්ෂූන් වහන්සේලා නිහඬ නිසා බවත් නමුත් මෙම නිහඬතාවය විශාල බලවේගයක් විය හැකි බවත් උන් වහන්සේ වැඩි දුරටත් පැවසීය.
 
මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියේ 1815 පසුව වසර 200 කට පසු නැවතත් ශ්‍රී ලංකාව 2015 වසරේ දී නැවතත් යටත් විජිත පාලනයකට පත් ව ඇති බවයි. 

අද වන විට රට තුළ යුද හමුදාව විහිළුවට ලක් ව ඇති බවත් කොටි බෙඳුම්වාදය රට තුළ හිස ඔසවමින් සිටින බවත් ඥනසාර හිමියන් පැවසීය.

තවද වත්මන් ආණ්ඩු බලය පහකිරීම සඳහා භික්ෂුන් වහන්සේ පෙරටු කර ගත් අඛන්ඩ විරෝධතාවක් පවත්වන බව රාවනා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි.

මේ අතර ආණ්ඩුව මහජන මතයට කන්දීමට සූදානම් විය යුතු බව පැවිදි හඩ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.