ජනපති හෙට රුසියා යයි

ජනපති හෙට රුසියා යයි

March 21, 2017   07:46 am



නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට(22) දිනයේ රුසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

 ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම නිල සංචාරයේ නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

1974 වර්ෂයේ අග්‍රමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මොස්කව් නගරයේ කළ නිල සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු රුසියන් සමූහාණ්ඩුවේ නිරත වන ප්‍රථම නිල සංචාරය මෙය ලෙස සැලකෙයි.

 දෙරට අතර රාජතාන්ත්‍රික සබදතා ස්ථාපනය කිරීමේ 60 වන සංවත්සර උත්සවය ද මෙම සංචාරය අතරතුර දී පැවැත්වීමට නියමිතය.

 රුසියාවේ සංචාරයේ නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපතිවරයා සමඟ ලබන 23 වන දින ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

 මෙම සංචාරය තුළ දී ධීවර කටයුතු, සංචාරක, සංස්කෘතික විද්‍යා තාක්ෂණික, අධ්‍යාපනික සහයෝගීතාව යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද්වීපාර්ශවික ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිතය.

  දෙරට අතර වෙළෙද හා ව්‍යාපාරික සබදතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රුසියා ව්‍යාපාරික සංසදය ද මොස්කව්හිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.