ශ්‍රී ලංකාව ඩිජිටල් කරන්න මයික්‍රොසොෆ්ට් සහාය දෙයි

ශ්‍රී ලංකාව ඩිජිටල් කරන්න මයික්‍රොසොෆ්ට් සහාය දෙයි

January 18, 2017   01:45 pm


ශ්‍රී ලංකාවේ පරිගණක සාක්‍ෂරතාව වැඩි දියුණු කරලීම සහ ඩිජිටල්කරණය වේගවත් කරලීම සඳහා අවශ්‍ය සහය සහ උපදෙස් ලබා දීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ෂේන් පිලිප් කර්ටෝස් මහතා එකඟ වී තිබේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මයික්‍රෝසොෆ්ට් සභාපතිවරයා අතර ස්විට්සර්ලන්තයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත.

අනාගතයේ කඩදාසි ලිපිගොනු වලින් තොර කාර්යාල පරිසරයක් නිර්මාණය වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරලීමේ අවශ්‍යතාව හා වැදගත්කමද සභාපතිවරයා පෙන්වා දී තිබේ.

ඒ තත්වය ශ්‍රී ලංකාව මැනවින් අවබෝධ කර ගෙන ඇති බවත්, ඊට අවශ්‍ය මූලික සැලසුම් දැන් සැකසෙමින් පවතින බවත්  විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා රාජ්‍ය කාර්යාල තාක්‍ෂණයෙන් සන්නද්ධ සුහුරු කාර්යාල බවට පත් කරලීම යහපාලන රජයේ අපේක්‍ෂාව බව පෙන්වා දී ඇත.

මේ පරිවර්තනය සිදු කිරීමත් සමග සියලු කාර්යාල කාර්යක්‍ෂම හා තරගකාරී තලයකට ඔසවා තැබීමට හැකි වන බව ද මෙහිදී අවධාරණය කර තිබේ.

එමෙන්ම ලෝකයේ විශාලතම වෙළඳපොලවල් හතරකට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන විවර කරලීම සඳහා අවස්ථාව ළඟදීම උදාවන බැවින්, ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන්ට ආරාධනා කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට පැමිණ සිටින තුන්සියයකට අධික ව්‍යවසායකයින්ට වික්‍රමසිංහ මහතා දන්වා සිටියේ මේ ආයෝජන සහ නව වෙළඳපොළ අවස්ථාවන් පිළිබඳව අධ්‍යයනය කිරීම උදෙසා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසයි.

එමෙන්ම පසුගියදා ලෝක ආර්ථික සමුළු පරිශ්‍රයේ පිහිටි මාධ්‍ය ගම්මානයේ පැවති විශේෂ පුවත් සාකච්ඡාවක් අමතමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි මාස කීපය තුළ ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කිරීමට නියමිත බවයි.

මෙම පුවත් සාකච්ඡාව ලෝක ආර්ථික සමුළු වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශය කෙරුණු අතර, සමුළුවට සහභාගී වූ, නොවූ විශාල පිරිසකට ශ්‍රී ලංකා නියෝජිත පිලෙහි අදහස් දැන ගැනීමට එමගින් අවකාශ සැලසිණි.

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පුවත් සාකච්ඡාව අමතමින් පැවසූයේ 2017 වසර ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක වසරක් බවයි.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික සංවර්ධන සැලැස්ම මේ වසරේ දී ක්‍රියාවට නැංවීම ඊට හේතුව බව ද සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේය.

රට තුළ ආයෝජන වැඩි කරලීම සඳහා විශේෂ උපාය මාර්ගයන් දියත් කරලන බව පැවසූ සමරවික්‍රම මහතා, සෘජු විදේශ ආයෝජකයන් සහ ශ්‍රී ලංකා ඩයස්පෝරාව ඒ සඳහා යොදා ගැනීමට අපේක්‍ෂා කරන බව ද ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ තව මාස කීපයකින් ජීඑස්පී ප්ලස් සහනය ලැබීම ආරම්භ වීමත් සමග යුරෝපීය වෙළඳපොළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන් සඳහා සම්පූර්ණයෙන්ම විවර වන බවය.

ඉන්දියාව සමග ඇති කෙරෙන ආර්ථික හා තාක්‍ෂාණ සහයෝගීතා ගිවිසුම සහ චීනය සහ සිංගප්පූරුව සමග අත්සන් කෙරෙන නිදහස් වෙළඳ ගිවිසුම් නිසා ඒ රටවල් තුළ වෙළඳපොළවල් ද ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා අවකාශ ලබා දෙන බව කරුණානායක මහතා පැහැදිලි කළේය.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ඩිජිටල් තාක්‍ෂණය ආර්ථික සංවර්ධනය සඳහා මෙන්ම එදිනෙදා ජන ජීවිතය පහසු කරලීම උදෙසා යොදා ගැනීමට සැලසුම් සකස් කර ඇති බව පෙන්වා දුන්නේය.


මේ අතර ගෝලීය ආර්ථිකය නගා සිටුවීමට නම්, නිදහස් වෙළෙදාම සහ විවෘත භාවය තහවුරු කරමින්, ආරක්‍ෂණ වාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු බව චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං මහතා පවසා තිබේ.

2017 ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් ජනාධිපති ෂී ජින්පිං මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආර්ථික යුද්ධයකින් ජය ගන්නා කිසිවෙකු නැති බවයි.

එහෙයින් අනාගත ගෝලීය ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සියළු රටවලට හා සියලු ජාතීන්ට ප්‍රතිලාභ හිමිවන සමගි සම්පන්න සාමූහික ව්‍යායාමක් විය යුතු බව ද චීන ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ආර්ථික සමුළු සමාරම්භක උළෙල ඇරඹිමට පෙරාතුව චීන ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, බංගලාදේශ අගමැතිනි හසිනා වජීඩ්, සර්බියානු අග්‍රමාත්‍ය ඇලෙක්සැන්ර් ව්‍යුසික් සහ ස්විට්සර්ලන්ත ජනාධිපතිනි ඩොරිස් ලෙතාඩ් යන සම්භාවනීයයන් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

එහිදී ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන චීන ආයෝජන සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කර තිබේ.

හම්බන්තොට වරාය හා ඒ ආශ්‍රිත ආයෝජන කලාපය සහ කොළඹ ඉදිකෙරෙන මූල්‍ය නගරය පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

එක් මාවතක් හා එක් තීරයක් ව්‍යාපෘතිය යටතේ දැනට රටවල් හා ආයතන සියයකට ආසන්න ප්‍රමාණයක් සමග චීනය විවිධ ව්‍යාපෘති දියත් කර ඇති බවද, චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මේ විශේෂ සාකච්ඡාවෙන් පසු, චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජ්‍ය නායකයෝ කොන්ග්‍රස් ශාලාවේ පැවති සමාරම්භක උළෙලට එක්වූහ.

පැමිණ සිටි ආරාධිතයන් පිළිගනිමින් ලෝක ආර්ථික සමුළුවේ විධායක සභාපති මහාචාර්ය ක්ලෝස් ස්වැප් මහතා පැවසූයේ චීන ජනාධිපතිවරයෙකු ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙය බවය.

ඒ නිසා ම මෙවර සමුළුව ඓතිහාසික වටිනාකමකින් පෝෂණය වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

ස්විට්සර්ලන්ත ජනාධිපතිනි ඩොරිස් ලෙතාඩ් මහත්මිය සභාව අමතමින්, ආර්ථික දියුණුවට සමගාමීව සමාජ සාධාරණත්වය ස්ථාවර කරලීමේ අවශ්‍යතාව අවධාරණය කළාය.

 ඒ සඳහා වගකීම සහගත සහ යහපත් තීරණ ගත හැකි නායකත්වයන් අවශ්‍ය බව ද ඇය පෙන්වා දුන්නාය.

ධනාත්මක හා බහුජාතික පරිසරයක ගනු ලබන එවැනි තීරණ ඔස්සේ වත්මන් ගැටළු සඳහා විශ්ව විසඳුම් සෙවිය හැකි බවට ඇය විශ්වාසය පළ කළාය.

මේ අතර ශ්‍රී ලංකාව වෙත සහය දැක්වීමට තමාත්, තම ආයතනයත් හැම විටම ප්‍රමුඛස්ථානය ලබා දෙමින් කැපවන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලී ඡුආන්  මහතා පැවසීය.

ඩවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළු සැසිවාරය අතරතුර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස හමුවෙමින් ඡුආන් මහතා වැඩි දුරටත් අවධාරණය කළේ යටිතල පහසුකම්, මහාමාර්ග, දුම්රිය මාර්ග, වරාය, නාගරික සංවර්ධන ආදී ක්ෂේත්‍ර‍ ගණනාවක් සඳහා ආධාර, ණය සහ පහසුකම් සැපයීමට තම බැංකුව ක්‍රියා කරන බවය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මෙතෙක් ලබා දුන් සහය අගය කළ වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඉදිරියේදී ද ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ උපරිම සහය ශ්‍රී ලංකාව වෙත ලැබෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව ද පැවසූහ.

මේ අතර සාමාන්‍ය ජනතාවට මිළදී ගැනීමට හැකි මට්ටමකින් උසස් තත්වයේ ඖෂධ නිෂ්පාදනය කරලීමේ අවකාශයන් සම්බන්ධව සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ලෝක ප්‍රකට නොවාර්ටිස් ඖෂධ සමාගමේ මහජන කාර්යාංශ ප්‍රධානී වෛද්‍ය පෙට්‍රා ලොක්ස් මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලොක්ස් මහත්මිය වැඩිදුරටත් පැවසූයේ සරළ ඖෂධ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම හා වඩාත් සංකීර්ණ ඖෂධ ජාත්‍යන්තර මට්ටමින් නිෂ්පාදනය කිරීම වඩාත් යෝග්‍ය බව තම අත්දැකීම් අනුව පෙනී යන බවයි.

දේශීය වශයෙන් උසස් ඖෂධ නිෂ්පාදනය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වී ඇති බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එවැනි කර්මාන්ත සඳහා වෙනමම නිෂ්පාදන කලාපයක් වෙන් කිරීම පිළිබඳව ද අවධානය යොමු වී ඇති බව පැවසීය.

මේ නිෂ්පාදන කලාපය සම්බන්ධව හා දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය පිළිබඳව ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම හා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග සාකච්ඡා වට කීපයක් සංවිධානය කිරීම වඩාත් සුදුසු බව අග්‍රාමාත්‍යවරයා යෝජනා කළේය.

ඊට එකඟත්වය පළ කළ වෛද්‍ය ලොක්ස් මහත්මිය, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින ප්‍රමිතිගත වෙනත් ඖෂධ සමාගම් ඇත්නම්, ඒවා ද සාකච්ඡාවට එක් කර ගැනීම වඩාත් යෝග්‍ය බව පෙන්වා දුන්නාය.