දුම්රිය රියදුරන් අකුරට වැඩ කරන්න යයි

දුම්රිය රියදුරන් අකුරට වැඩ කරන්න යයි

January 17, 2017   01:02 pm



ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට දුම්රිය රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ.

සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි.

දුම්රිය එංජින් රියදුරු ශ්‍රේණියට බලපා ඇති වැටුප් විෂමතා, දුම්රිය එංජින් රියදුරු සේවයේ බඳවා ගැනීමේ පටිපාටිය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බව එම සංගමය සඳහන් කළේය.

අවස්ථා කිහිපයකදී ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සිය ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කළ ද මේ වන තෙක් ඒ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුවී නොමැති බව ඔවුන් පෙන්වා දෙනු ලබයි. 

ඒ අනුව සිය සංගමයේ සාමාජිකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ආරක්ෂක නීති හා මාර්ගවල පවතින සියලු වේග සීමාවන් අනුගමනය කරමින් දුම්රිය ධාවනය කරන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමය පැවසීය.

එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයේ ආරක්ෂාව සඳහා බලපාන උපාංග සහ දුම්රිය එංජින් රියදුරු කුටියේ තිබිය යුතු මූලික පහසුකම් නොමැති කිසිඳු දුම්රිය එංජින් යන්ත්‍රයක් හෝ බලවේග කට්ටලයක් මඟින් දුම්රිය ධාවනය නොකරන බව ද එම සංගමය සඳහන් කර සිටියේය.