දිවිනැඟුම සමෘද්ධි කිරීමේ පනත පාර්ලිමේන්තුවට

දිවිනැඟුම සමෘද්ධි කිරීමේ පනත පාර්ලිමේන්තුවට

December 8, 2016   02:15 pm



දිවිනැඟුම යන නාමය වෙනුවට සමෘද්ධි නාමය ආදේශ කිරීමට අදාළව දිවිනැඟුම පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද රැස් වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.

අඩු ආදායම්ලාභි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම පිණිස සංවිධානය වී ඇති කුඩා කණ්ඩායම්, සමිති, මහා සංගම් හා ඊට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන ගම් මට්ටමේ නිළධාරීන් හැඳින්වීමට දිවි නැගුම නාමය වෙනුවට සමෘද්ධි නාමය යොදන ලෙස සිදුකරන ලද ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් මෙම පනත් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

ඒ  සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි වුණි.

මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 17 වන දිනය අද දිනයේ බුද්ධ ශාසන, තැපල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු යන අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙයි.