තිලංග ක්‍රිකට් දන්නේ නෑ-මං රටට කරපු සේවයෙන් 1%ක් එයා කරලා නෑ

තිලංග ක්‍රිකට් දන්නේ නෑ-මං රටට කරපු සේවයෙන් 1%ක් එයා කරලා නෑ

July 25, 2016   07:28 pm


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තමාට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, තමන් විසින් රටට කළ සේවයෙන් 1%ක් වත් ක්‍රිකට් සභාපතිතුමා විසින් සිදුකර නොමැති බවත් මුත්තයියා මුරලිදරන් පවසයි.

ක්‍රිකට් සභාපතිතුමා ක්‍රිකට් ගැන නොදන්නා බවද මුරලිදරන් මහතා කියා සිටියේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් පිරිසක් විසින් අසන ලද ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමිනි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟ පන්දුයවන්නන් පුහුණුකරවීමට තමා පොරොන්දු වූයේ දින 10ට පමණක් බවත්,එයද බාරගනු ලැබුවේ මාස 3ට ඉහතදී බවත්,මුළු තරගාවලියටම පුහුණු කරන ලෙස ඔස්ට්‍රේලියානුවන් කළ ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත් ඔහු කියා සිටියේය.

තමන් එලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන නිසා බව ඔහු සඳහන් කළේය.

ක්‍රිකට් කළමනාකරු චරිත සේනානායකට තර්ජනය කළ බවට එල්ල කරන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්,තමන් හා චරිත එකට ක්‍රීඩා කළ අයෙකුවන බැවින් ඔහු විසින් තමන් තණ කොළ කපා පිටිය සකස් කළ බව කිය කියා යන බැවින් එසේ බොරු කියන්නේ මන්ද යන්න විමසා සි‍ටි බවත්,එහෙත් තර්ජනය කිරීමක් නොකළ බවත් මුරලිදරන් අවධාරණය කළේය.

තමන්ට ඕස්ට්‍රේලියාවෙන් 99 වසරේදී පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වුණු බවත්, ඒ අවස්ථාවේදී රටේම මිනිස්සු එක්ව තමාට සහයවුණු බවත්,එම අවස්ථා තමාට අමතක නොමැති බවත් පෙන්වා දුන් මුරලි එකී ඔස්ට්‍රේලියාවෙන්ම තමාව පුහුණුකරුවෙකු ලෙස කැඳවන්නේ එදා ඔවුන්ට වුණු වැරැද්ද පිළිගනිමින් බවත් සිහිපත් කළේය.

ඒ ආකාරයට තමන් වසර 20ක් අඛණ්ඩව ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ බවත්, 2011න් පසුව අවුරුදු 2ක් ප්‍රාන්ත ක්‍රිකට් සඳහා ක්‍රීඩා කළ බවත්,ක්‍රිකට්වල අඛණ්ඩව රැඳීමට පවත්නා ආශාව නිසා හයිද්‍රබාද් කණ්ඩායමට උපදේශකවරයෙකු ලෙස සේවය ලබාදුන් බවත් ඔහු කියා සිටියේය.

පසුව තමාට චෝදනා එල්ල කරපු උදවියම පුහුණුකරුවෙකු ලෙස සේවය කිරීමට ආරාධනා කිරීම නිසාත්,තමන්ට ක්‍රිකට් ක්ෂේත්‍රයේ රැඳී සිටිමට ඇති බලවත් ආශාව නිසාත්, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තමන්ට අවස්ථාවක් නොදීම නිසා බවත් මුරලි සඳහන් කළේය.

නිශාන්ත රණතුංග ක්‍රිකට් ලේකම් ලෙස සිටින කාලයේදී පමණක් තමාට පුහුණුකරුවෙකු ලෙස සහයදෙන ලෙස ඉල්ලා සිටි බවත්,ඒ අනුව තමන් නොමිලේම සේවය ලබාදුන් බවත්, එයින් පසුව කිසිවෙකු හෝ තමාට ආරාධනා නොකළ බවත් හෙතෙම අවධාරණය කළේය.

ක්‍රීඩකයින්ව සිට පළපුදුරුදු දක්ෂතා ඇති ක්‍රිකට් පුහුණුකරුවන් ලෙස මාවන් අතපත්තු, චමින්ද වාස්,උපුල් චන්දන,රුවන් කල්පගේ,චන්දික හතුරුසිංහ වැන්නන් කිසිවෙකුගේ ප්‍රයෝජනයක් නොගත් බැවින් ඔවුන් මේවන විට විදෙස් රටවල පුහුණුකරුවන් ලෙස සේවය කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

දක්ෂතා තියෙන අය සිටියදී විදේශයන්ගෙන් ගෙන්වා ‍ඔවුන්ට ඩොලර්වලින් ගෙවීම් කරන බව පෙන්වාදෙන මුරලි තමාට වැරදි යයි චෝදනා කරන අය කණ්ණාඩියක් ඉදිරියට ගොස් තමා ගැන බලා ගත යුතු බව සඳහන් කළේය.

ලංකාවේ ක්‍රිකට් බලධාරීන්ට අවශ්‍යව ඇත්තේ දිගටම රැඳී සිටීමේ වුවමනාවක් මිස ක්‍රිකට් දියුණු කිරීමේ වුවමනාවක් නොවන බවත්,වත්මන් ක්‍රිකට් සභාපතිතුමා වුවද ක්‍රිකට් ගැන නොදන්නා බවත් මුරලිදරන් සඳහන් කළේය.

තමන් දින 10ට පමණක් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ට පුහුණු කිරීම නිසාම ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරනු නැති බවත්,එහෙම කරන්නේනම් තමන් ලෝකයේ සිටින හොඳම පුහුණුකරුවා වෙනු ඇති බවත් මුරලිදරන් කියා සිටියේය.

තමා ඒ තරම් වැදගත් නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස බඳවාගෙන සෑම තරඟයකින්ම ශ්‍රී ලංකා ජයග්‍රහණය කරවිය හැකිවනු ඇති බවත්,ඒ සඳහා ක්‍රියා කළ යුතුව ඇති බවත් පෙන්වාදෙන මුරලිදරන් මේ නඟන චෝදනා සියල්ල හිස් ප්‍රලාප පමණක් බව අවධාරණය කළේය.

තමාට චෝදනා නඟන ක්‍රිකට් සභාපතිවරයා ඔහු විසින් ක්‍රිකට් වලට,රටට කළ සේවය කුමක්දැයි පෙන්වාදිය යුතු බව මුරලිදරන් විමසා සිටියේය.

තමන් වසර 20ක් රට වෙනුවෙන් ක්‍රීඩා කළ බවත්,කණ්ඩායමෙන් විශ්‍රමගැනීමෙන් පසු ස්වෙච්ඡා සංවිධානයක් ගොඩනඟාගෙන 2000 අවුරුද්දේ සිට දුගී මිනිසුන්ට නිවාස 1000 ක් සාදාදී ඇති බවත්,50,000ක පිරිසකට වාර්ෂිකව සහන සලසන බවත්,දුෂ්කර පාසල් 45කට ක්‍රීඩා පිටි සකසා දී ඇති බවත්,මුරලිකා නමින් උතුරු-දකුණු ක්‍රීඩා සමාජ අතර වාර්ෂිකව ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කොට සංහිඳියාවට ක්‍රීඩාවෙන් සහය දක්වන බවත් ඔහු සඳහන් කළේය.

මොවුන් තමන්ගෙන් සිදුවන වැරදි වසාගැනීමට තමන් ඉත්තෙක් ලෙස පාවිච්චි කරන බවත්,එල්ලකරන චෝදනා ඔප්පු කර පෙන්විය යුතුව ඇති බවත් මුරලිදරන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.