UPDATE: හමුදා අවි ගබඩාවේ ගින්නක් - බලන්න එන්න එපා - ඈත්වන්නැයි උපදෙස්

UPDATE: හමුදා අවි ගබඩාවේ ගින්නක් - බලන්න එන්න එපා - ඈත්වන්නැයි උපදෙස්

June 5, 2016   06:46 pm



කොස්ගම, ශාලාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරේ, අවි ගබඩාවේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

අද(05) පස්වරුවේ මෙම ගින්න හට ගෙන ඇති බව වාර්තා වෙයි.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා යුද, ගුවන්, නාවික විශේෂ බලඇණි අදාළ ස්ථානයට කඩිනමින් පිටත් කර යවා ඇති බවයි.

කඳවුර පිහිටි ප්‍රදේශයන් විශාල දුම් වළාවන් ඉහළ අහසට නගින අයුරු තමන් දුටු බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

කෙසේ වෙතත්  අවට ප්‍රදේශය නැරඹීමට පැමිණීමෙන් වළකින්නයි හමුදා ප්‍රකාශකවරයා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර මෙම සිද්ධිය සමග හයිලෙවල් මාර්ගයේ කොස්ගම-හංවැල්ල අතර මාර්ගය තාවකාලිකව වසා ඇති බව වාර්තා වේ .

එමෙන්ම අවිස්සාවේල්ල-කලුඅග්ගල මාර්ගය කලුඅග්ගල ප්‍රදේශයෙන්ද,  අවිස්සාවේල්ල-කොළඹ මාර්ගය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන්ද වසා දැමූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

තව ද, ගින්න අවි ගබඩාවට පැතිරී ඇති බැවින් කඳවුරු ප්‍රදේශය අවට ජනතාවට ඉන් ඉවත් වන ලෙසට ද ආරක්ෂක අංශ විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මෙම පිපිරීම කිලෝ මීටර ගණනක් ඈතට ඇසෙන බව ප්‍රදේශවාසීහුද පවසයි.

 එමෙන්ම ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර යුද හමුදාවේ කිසිවකුටත් තුවාල වූ බවක්ද මෙතෙක් වාර්තා නොවූ බව යුද හමුදා බටහිර ආඥාපති මේජර් ජනරාල් සුනද්න රණසිංහ මහතා පවසයි.

ගින්න මැඩ පැවැත්වීමට මේ වන විට යුද හමුදාව අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බව ද ඔහු පවසයි.

ගින්න නිවා දැමීම සඳහා ගුවන් හමුදාවේ බෙල් ගුවන් යානයක් ද යොදා ගෙන ඇතැයි වාර්තා වෙයි.

තමාගේ ආරක්ෂාව පතා එම ප්‍රදේශයට ඇතුල් නොවන ලෙස  හුමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොස්ගම ශාලාව සිට කිලෝ මීටර 3 ක්  ඇතුළත පදිංචි කරුවන්ට එම පෙදෙස් වලින් ඉවත් වන ලෙස දන්වා ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

යුද හමුදාපති ලුත්නන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා එහි යෑමට නියමිත බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
 
එම ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ත්‍රිවිධ හමුදාවම කැඳවා ඇති බවත් ගින්න නැරඹීමේ අරමුණෙන් එම ප්‍රදේශයට ඇතුළු නොවන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.