සෝභිත හිමිගේ පශ්චාත් මරණ පරීක්ෂණය නොපැවැත්වීම හොයන්න කමිටුවක්

සෝභිත හිමිගේ පශ්චාත් මරණ පරීක්ෂණය නොපැවැත්වීම හොයන්න කමිටුවක්

May 11, 2016   11:02 am


අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය නොපැවැත්වීම සම්බන්ධයෙන් වූ විමර්ශනය සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ඒ බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දන්වා ඇත.


අනිල් ජාසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවට සෙසු සාමාජිකයින් ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන්,ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද උරස් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කුමුදුනී රණතුංග, ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය නිමාලි ප්‍රනාන්දු,ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද උරස් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඉරේෂ විජේමාන්න යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ලබයි.

සෝභිත හිමියන්ගේ අපවත්වීමට අදාළව පශ්චාත් මරණ පරීක්ණයක් නොපැවැත්වීම සම්බන්ධයෙන් විද්වත් වෛද්‍ය කමිටුවක් මගින් විමර්ශනයක් පවත්වා විධිමත් වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉකුත් අප්‍රේල් 04 වන දින කොළඹ ජාතික රෝහලේ නි.අධ්‍යක්ෂ ජනරාල් වෙත නියෝග කර තිබිණි.

එම නියෝගයට අනුව මෙම පංච පුද්ගල කමිටුව පත්වූ බව කොළඹ ජාතික රෝහලේ නි.අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ලිපියක් මගින් දැනුම් දී ඇත.