හිටපු ජනපතිට හමුදා වෙනුවට පොලීසිය යොදවයි

හිටපු ජනපතිට හමුදා වෙනුවට පොලීසිය යොදවයි

April 5, 2016   02:18 pm



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදාවට අයත් භට පිරිස් ඉවත්කර ඒ වෙනුවට පොලීසිය යොදවා ඇති බව වාර්තාවේ.

මේ පිළිබඳ අදදෙරණ කළ විමසුමකදී මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ‍මේ සතියේ සිකුරාදා වන විට ආරක්ෂාවට යොදවා සිටි හමුදා භට පිරිසට අයත් 50 දෙනෙකු නැවත හමුදා මුලස්ථානය වෙත කැඳවා ඇති බවයි.

ඒ වෙනුවට පොලීසියේ ප්‍රභූ ආරක්ෂක භට පිරිසක් යොදවන බව දැනුම්දී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගෙන් අදදෙරණ කළ විමසුමකදී ඔහු කියා සිටියේ ආරක්ෂක මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පමණක් නොව ජනාධිපති,අග්‍රාමාත්‍ය ඇතුළු සියලුම ප්‍රභූ ආරක්ෂක සේවාවන් පොලීසියට පැවරීමට තීරණය කර ඇති බවත්, ඒ අනුව ආරක්ෂක භටයින් අඩු කිරීමක් කිසිසේත්ම සිදුනොවන බවත්,හමුදා ආරක්ෂකයින් වෙනුවට පොලීස් ප්‍රභූ ආරක්ෂකයින් යෙදවීම පමණක් සිදුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.