කථානායකවරයාටත් මරණ තර්ජන

කථානායකවරයාටත් මරණ තර්ජන

February 10, 2016   03:12 pm


ඊයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධියෙන් පසු තමාට මරණ තර්ජන එල්ලවී ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් තම පිරිස පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නා ලෙස බලකරමින් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ සභා ගැබ මධ්‍යට වී විරෝධතාවයක නිරතවූ අතර කථානායකවරයා එහිදී එම ප්‍රශ්නය සන්ධානය තුළ සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නා ලෙස දන්වා සිටින ලදී.

ඒකාබද්ධ විපක්ෂයේ මෙම පිරිසේ විරෝධතා හා අවහිර කිරීම් මධ්‍යයේ වුවද පාර්ලිමේන්තුවේ කටයුතු නිසිලෙස පවත්වාගෙන යාමට කථානායකවරයා තීරණය කර තිබිණි.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසු ඊයේ රාත්‍රීයේ තමාට දුරකථන ඇමතුම් මගින් ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීමට ඉඩදෙන ලෙස කිසිවෙකු දන්වා තර්ජනය කළ බව කථානායකවරයා අද(10) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එහෙත් එකී තර්ජන තමා විසින් ගණන් නොගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.