හරියන ඉඩමක් සොයමින් ඉන්නවා

හරියන ඉඩමක් සොයමින් ඉන්නවා

January 14, 2016   11:06 am



පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ නමින් ඉදිකිරීමට යෝජිත ‘අමරදේව සංගීත අසපුව‘ ඉදිකිරීම සඳහා ඉඩම් හඳුනාගැනීම මේ වන විට සිදුකරමින් පවතින බව ජනමාධ්‍ය අමාත්‍ය  ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

පාදුක්ක, බණ්ඩාරගම හා හොරණ යන ප්‍රදේශවලින් එම ඉඩම් හඳුනාගෙන ඇති අතර ඉඩම් නිරීක්ෂණය කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරන බව අමාත්යරවරයා සඳහන් කළේය.

අදාළ කලා නිකේතනය පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ගයන්ත කරුණාතිලක මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඩබ්ලිව්.ඩී. අමරදේව මහතාගේද අදහස් ලබාගනිමින් මෙම කලා නිකේතනයේ  ඉදිකිරීම් සිදුකිරීමට නියමිතය.

මෙය සියලු අංග වලින් සමන්විත පූර්ණ සෞන්දර්ය විශ්වවිද්‍යාලයක් ලෙස ද හැඳින්විය හැකි පරිදි ඉදිකළ යුතු බව සාකච්ඡාවට එක්වූ ආචාර්ය කෝලිත භානු දිසානායක මහතා ප්‍රකාශ කළ බව ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.