මහාධිකරණ කොමසාරිස්වරයෙකු ගැන නීතිඥ සංගමය කණස්සල්ලෙන්

මහාධිකරණ කොමසාරිස්වරයෙකු ගැන නීතිඥ සංගමය කණස්සල්ලෙන්

November 28, 2015   05:27 pm



මහාධිකරණ කොමසාරිස්වරයෙකු ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරියක් පත් කිරිම පිළිබඳව තමන් කණස්සල්ල පළ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ  ජෙෆ්රි අලගරත්නම් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර තිබේ.

මහාධිකරණ කොමසාරිස්වරයෙකු ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරියක වන අයිරාංගනී පෙරේරා මහත්මිය පත් කර ඇති අතර එවැනි තනතුරක් පත් කිරිම සඳහා කිසිදු අවශ්‍යතාවක් නොමැති බව  එම සංගමය පවසයි.

යම් සුවිශේෂි අවස්ථාවකදී පමණක් මෙවැනි තනතුරක් පත් කෙරෙන බව  නීතිඥ සංගමය සඳහන් කළේය.

අධිකරණ අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි අධිකරණ කොමිසන් සභාවේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් මෙම නව පත්කිරිම සිදු කර ඇති බව ද එම සංගමය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් එවැනි තනතුරක් පත් කරන්නේ නම් ඊට සුදුසු වෙනත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් සිටින බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ විජයදාස රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළ අවස්ථාවේදී  ඔහු සදහන් කළේ මේ වන විට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු කොමසාරිස්නරුන් ලෙස පත් කර ඇති බවයි.

ඉන් කොමසාරිස්වරුන් දෙදෙනෙකු උතුරු පළාතේ නඩු විභාග කිරිමේදී ඇතිවන භාෂා ගැටළු විසදීම සදහාත් එක් කොමසාරිස්වරයෙකු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් පිළිබඳ නඩු කටයුතු ඉක්මනින් අවසන් කිරිමේ අවශ්‍යතාව මත පදනම්ව පත් කළ බවත් අමාත්‍යවරයා සදහන් කළා.

මෙම පත් කිරිම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබී ඇති බව ද අධිකරණ අමාත්‍යවරයා අද දෙරණ සමග පවසා සිටියේය.

මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කළ හැකි උපරිම සංඛ්‍යාව මේ වන විට පත් කර ඇති බව පෙන්වා දෙන අධිකරණ අමාත්‍යාවරයා ඊට වඩා විනිසුරුවරුන් පත් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බව ද සඳහන් කර සිටියේය.

එම ක්‍රියා පටිපාටිය දීර්ඝ කටයුත්තක් බැවින් මෙලෙස විශ්‍රාමික විනිසුරුවරුන් පත් කළ බව  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.