විජයදාස හොරෙක් - ෆොන්සේකා

විජයදාස හොරෙක් - ෆොන්සේකා

November 5, 2015   04:08 pm


විජයදාස රාජපක්ෂ කියන්නේ හොරෙක් වංචාකාරයෙක් යැයි තමන් තවදුරටත් නොබියව පවසන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.

හෙතෙම ඇවන්ට්ගාඩ් සිද්ධිය හරහා අල්ලස් ගත් කෙනෙක් යැයි තමන් මීට පෙරද මහරගම වේදිකාවකදී පවා පවසා ඇතැයි කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී  ෆොන්සේකා මහතා  ප්‍රකාශ කළේය.

ඇවන්ඩ්ගාඩ් සිද්ධිය පිළිබඳ මාධ්‍යවේදීන් හමුවේ  ඔහු මේ බව කියා සිටි‍ අතර එම සිද්ධිය පිටුපස වජිර අබේවර්ධන ඇමතිවරයා ද සිටින බව සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

ඇවන්ට්ගාඩ් යුධ නෞකාව සම්බන්ධයෙන් පොලීසිය කළේ ලකුණු දමා ගැනීමක් යැයි තිලක් මාරපන ඇමතිවරයා කියන්නේ නම් පොලීසියේ ක්‍රියාකලාපය ගැනද පරීක්ෂණයක් කළ යුතු බව හෙතෙම පැවසීය.

මෙම නැව කටයුතු කර ඇත්තේ අන්තර්ජාතික සමුද්‍රීය නීතිවලට පටහැනිව බවත්, එසේ නීති කඩ කර කටයුතු කිරීමට අවශ්‍ය ඉඩ සලසාදීමට ආරක්ෂක අමාත්‍යංශයේ සිටියේ කවර ජගතෙකුදැයි හෙතෙම ප්‍රශ්න කළේය.

දීපවාලි දවසේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීමට යනවාදැයි මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට සරත් ෆොන්සේකා මහතා පැවසුවේ එවැන්නක් කිරීමට ජනපතිට බලයක් ඇති බවයි.

තමන්ද නිදහස් කළේ එසේ යැයි හෙතෙම පෙන්වාදුන්නේය.

එච්.එන්.ඩී.ඒ සිසුන් ගල්මුල් වලින් පහරදීම වැරදි බවත්, පොලිසිය ද අවම බලය යැයි කියමින් ඔවුන්ට පන්න පන්නා පහරදීම වැරදි බවත්, ඔහු පැවසුවේය.

එම පහරදීමට ඉහළින් අණක් ලැබෙන්නට නැතැයි පැවසූ ෆොන්සේකා මහතා එය එතනට ආව ඉහළ නිලධාරීන් ගත් තීරණයක් විය හැකි බවද කියා සිටියේය.