සංගරීගේ පුත් ගැරී කැනේඩියානු පාර්ලිමේන්තුවට තේරීපත්වෙයි
October 20, 2015 10:54 am
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරීගේ පුත් ගැරී ආනන්දසංගරී මහතා කැනේඩියානු පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබේ.
ඊයේ පැවති එරට පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් ආසන 176ක් දිනාගනිමින් ජස්ටින් තෘදෙව්ගේ නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂය ජයග්‍රහණය කරගෙන ඇති අතර ගැරී ආනන්දසංගරීද එම පක්ෂයෙන් පාර්ලිමේන්තු අසුනක් දිනාගෙන ඇති බව විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.
කැනඩාවේ ස්කාබරෝ රෆ් පාර්ක් නම් මැතිවරණ කොට්ඨාසයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ ආනන්දසංගරී ඡන්ද 23,152ක් ලබමින් ජයග්‍රහණය කරන විට ඔහුගේ ප්‍රතිවාදියා වන කොන්සර්වේටිව් පක්ෂයේ ලෙස්ලින් ලුවිස් ලබාගෙන ඇත්තේ ඡන්ද 13,263ක් පමණි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් මීට පෙරාතුව තරඟ කොට අසුනක් හිමිකරගෙන සිටි තවත් ලාංකික තරුණියක වූ රාධිකා සිත්සබේෂන් මෙවර මැතිවරණයෙන් පරාජයට පත්ව තිබේ.
මෙම අවස්ථාව හිමිකර ගැනීම සඳහා තමාට බොහෝ පිරිසක් සහය දුන් බවත්, ඒ සියලුදෙනාටම ස්තූතිය පළකරන බවත් ගැරී ආනන්දසංගරී මහතා තම ට්විටර් ගිණුමෙන් අන්තර්ජාලයට පණිවිඩයක් යොමුකරමින් පවසා තිබේ.
මේ අතර අද දෙරණ කළ විමසීමකදී වී.ආනන්දසංගරී මහතා ද කියා සිටියේ තම පුතු කැනඩාවේ මහමැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබ ඇති බවට තමාට දැනගන්නට ඇති බව හා ඒ පිළිබඳ සතුටට පත්වන බවයි.